යෞවනියන්ගේ තුන්කොන් සටනේ අවසන් මහා තරගය අද
16 October 2026
යෞවනියන්ගේ තුන්කොන් සටනේ අවසන් මහා තරගය අද
16 October 2026
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (16 වැනිදා) ෆයිස්ලාබාද්හිදී ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතය.
මෙම තරගය සඳහා මූලික වටයේ ප්රසාද ලකුණු සටහනේ ප්රථම ස්ථානය හිමිකර ගෙන සිටින ශ්රී ලංකා කණ්ඩායම සහ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින බංග්ලාදේශය සුදුසුකම් ලද අතර සත්කාරක පාකිස්තානය එක් තරගයක් පමණක් ජය ගැනීම හේතුවෙන් අවසන් සටනට වරම් නොලැබුණි. පළමු වටයේ තරග වැදුණු තරග 6න් ප්රථම තරගය හැර අනෙක් තරග 5ක ජයගත් ශ්රී ලංකා කණ්ඩායම ප්රසාද ලකුණු 10ක් ලබා ගනිමින් ප්රථම ස්ථානයට හිමිකම් කී අතර, තරග 6න් තරග 3ක් ජයගත් බංග්ලාදේශය ප්රසාද ලකුණු 6ක් ද, පාකිස්තානය තරග 6න් එක් තරගයක් පමණක් පමණක් ජයගෙන සිටින සත්කාරක පාකිස්තානය ප්රසාද ලකුණු 2ක් පමණක් හිමිකර ගත්තේය.
ඒ අනුව තමන් තරග වැදුණු අවසන් තරග 5ම අඛණ්ඩව ජයගෙන සිටින ශ්රී ලංකාව අවසන් මහා තරගයට මනා සූදානමකින් පසුවේ. එමෙන්ම මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය ලකුණු 58කට සීමා කිරීමට සමත් වීමත් ඒ සඳහා මනා අභිප්රේරණයක්ව පවතින බව කණ්ඩායම් නායිකා චමුදි ප්රබෝධා එම තරගය අවසානයේ පැවැති සම්මාන ප්රදානයේදී ප්රකාශ කර සිටියාය.
මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට තරග 5කදී ලකුණු 252ක් රැස් කරගෙන සිටින ශ්රී ලංකා ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි පත්ව සිටින අතර, වැඩිම කඩුලු ලාභිණියන් අතර දෙවැනි තැන තරග 5කදී කඩුලු 5ක් දවාගෙන සිටින ලිමන්සා තිලකරත්න වෙත හිමිව තිබේ. අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11ට ආරම්භ වීමට නියමිතය.

