brand logo
logo
අනුරාධපුර පූජා නගරය අනතුරේද?

අනුරාධපුර පූජා නගරය අනතුරේද?

07 November 2026 | සුමේධ කරුණාරත්න

ඉන්දියාවේ මැදිහත්වීමෙන් අනුරාධපුර පූජා නගරයේ කෝවිලක් ඉදිකරන බවට කතාවක් පැතිර ගියේ දෙතුන් සතියකට ඉහතදීය. මේ කතාවට මුල්වී තිබුණේ අනුරාධපුර පූජා නගර සංවර්ධනයට ඉන්දියාව ආධාර උපකාර කිරීම බවට සැක නැත. එම ආධාර ලැබෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අනුරාධපුර පූජා නගරය මීට හත් අට මසකට පෙර වැඳ පුදා ගැනීමට පැමිණි පසුවය. මෝදි පමණක් නොවේ, ඉන්දියාවේ ප්‍රථම අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරුද එකල අනුරාධපුර පූජා නගරයට පැමිණියේය. ඔහු සමාධි පිළිමය වැඳ පුදා ගැනීමට පැමිණි මොහොතේ පහන් සංවේගය උපදවාගෙන හැඟුම්බර වූවේය.


අනුරාධපුර පූජා නගරය පිළිබඳ පැතිර යන කයි කතන්දර නිසා මෙවර හඟුම්බර වී ඇත්තේ ලංකාවේ සැදැහැවතුන්ය.

පූජා නගරයේ බෞද්ධ විරෝධී ඉදිකිරීම්, සැදැහැවතුන්ගේ වන්දනාවන්ට බාධාවන සීමා මායිම් සලකුණු කිරීමක්ද, මහසෑය වටා අගල් හෑරීමක් ලෙසින් ද නා නා මානයන් ඔස්සේ මේ ගැන කතා පැතිර යමින් තිබේ. ඊට ප්‍රතිවිරුද්ධ අදහස් අනුව ඒවා හුදෙක් පරාජිත දේශපාලන අවලාද හා මඩගැසීම් ලෙස අර්ථකථනය වෙමින් සමාජය සිසාරා පැතිර යමින් පවතී.

ඇත්තටම පූජා නගරයේ වෙමින් තිබෙන්නේ කුමක්ද? ඒ ගැන කතා කිරීමට පෙර පූජා නගරයේ ඉතිහාස කතාව ගැන දැනගැනීම වටී.

අනුරාධපුරය විධිමත් නගර සැලසුමක් සහිතව රටේ අගනුවර ලෙස ගොඩනැගුණේ පණ්ඩුකාභය රජ දවසය.

එසේම එදවස නගරයේ බටහිර දිසාවේ පිහිටි සොහොන ආසන්නයේ ජෝතිය , ගිරි හා කුම්භාණ්ඩ නම්වූ නිගණ්ඨයන් මෙන්ම වැදි ජනයා උදෙසා දෙවොල ඉදිකළ බවද මහාවංශයේ එම පරිච්ඡේදයේම සඳහන් වේ. කෙසේ හෝ කුල පන්සීයක ජනයා වෙනුවෙන් විවිධ දේවාල පණ්ඩුකාභය රජ විසින් ඉදිකරන ලද බව ඓතිහාසික මූලාශ්‍රවල දක්වේ.

බුදුසමය මෙරටට පැමිණීමට (ක්‍රි.පූ. 3 සියවස) පෙර පැවති මෙම ආගමික සංස්ථා බුදුසමයේ පැමිණීමෙන් පසුවද ක්‍රියාත්මක වූ බවත් බුදුසමයෙන් ඊට කිසිදු බාධාවක් නොවූ බවත් ඓතිහාසික මූලාශ්‍ර පරිශීලනයේදී පෙනී යයි. මිහිඳු මාහිමියන් ධර්මය දේශනා කරන්නට ශ්‍රී ලාංකිකයන් එක්රැස් කර ගැනීමට යොදාගත්තේ ඔවුන් ගස්, ගල්, වැස්ස හා ගින්න වැනි ස්වභාව ධර්මයේ අංග ඇදහීමට එක් රොක් වූ ස්ථානයන්ය. වර්තමානයේ ඉසුරුමුනිය යනුවෙන් ව්‍යවහාරවන දක්ඛිණ මේඝගිරි විහාරය එවන් ස්ථානයකි. බුදුසමය ස්ථාපිත වුවද දේව වන්දනාව මුළුමනින්ම සමාජයෙන් බැහැර නොවීය. ඊට රාජානුග්‍රහය ද නො අඩුව ලැබිණි. බුදුසමයෙන් බැහැර ඇදහීම් සඳහා රාජානුග්‍රහය ලැබීමට ප්‍රබල හේතුවක් වූයේ රාජාභිෂේක සඳහා ඉන්දියාවෙන් ගෙන්වාගත් රාජ කුමාරියන් හා එම පරිවාර සේනාවන්ය. ඉන්දියාවෙන් මෙහි පැමිණි බොහෝ රාජකීය කාන්තාවන් බෞද්ධ නොවූ නිසා දේව ඇදහීම් දිගින් දිගටම රට තුළ සංවර්ධනය විය.

ඉහත සඳහන් කළ ආකාරයට අනුරාධපුර අගනගරයේ පැවැති කෝවිල් වර්තමානයේද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මුල්ම වාරි කර්මාන්තය වූ අභයවැව වැව් බැම්ම අසල ඇති “චිත්තරාජ දෙවොල” ථූපාරාමය අසල අනුරාධපුර ඇතුල් නුවර බටහිර දොරටුවට යාබදව තිබෙන “කාලි කෝවිල” අදත් බොහෝ දෙනාගේ වන්දනමානයට ලක්වෙමින් තිබේ. (කාලි කෝවිල ලෙස ව්‍යවහාර වුවද එම ගොඩනැගිල්ලේ පවතින්නේ පැරණි ප්‍රතිමා ගෘහයක සැලසුමයි. පැරණි පිළිම ගෙයක සැලසුම අනුව යමින් කෝවිල ඉදිකළාද නොඑසේනම් පිළිම ගෙයක් කෝවිල බවට පත්කරගත්තාද යන සැකය නිරතුරුවම මතුවේ) ඔවුන් බොහෝ දෙනා දෙමළ ජාතිකයන් නොවූවද කිසියම් දෙමළ සම්භවයක් සහිත වූවෝ වෙති. මෑතක් වනතුරුම අභයවැව ආසන්නයේ “ලයිම කොටස” නමින් හැඳින්වුණු ගම්මානයක් ද තිබිණි. සිංහල භාෂාවෙන් කතාබහ කළද අධ්‍යාපනය ලැබුවද ආවාහ විවාහවීම් වුවද දෙමළ සිරිත් විරිත් ගති පැවතුම් ඔවුන් තුළින් විද්‍යමාන වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයේ ඊට දකුණු දෙසින් පිහිටි “කුරුණෑගල හන්දිය” ප්‍රදේශයේ මෑතක් වනතුරුම ජීවත් වූයේ දෙමළ ජනතාවයි. ඒ ආසන්නයේ ඇති එවකට වල්බිහිව තිබූ දක්ඛිණ තූපය ඇතුළු ප්‍රදේශය එම ජනතාව තම වැසිකිළි පහසුකම් සඳහා යොදාගත් නිසා එම ස්මාරකය “එළාර සොහොන” ලෙස ප්‍රසිද්ධ කිරීමෙන් පසු දෙමළ ජනතාව එය වැසිකිළිය ලෙස භාවිත කිරීමෙන් වැළකුණු බව ප්‍රසිද්ධ කතාවකි.

කෙසේ වෙතත් සිංහල රජ සමයේ සිට යටත් විජිත යුගය පසුකර වර්තමානය දක්වා අනුරාධපුර පූජා භූමිය තුළ හින්දු කෝවිල් කීපයක් ක්‍රියාත්මක වේ. ඒවා පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ පවසයි.

කෙසේ නමුදු අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු පසු ඒ බිම වල්බිහිවී ගියේය. වෙහෙර වසා රූස්ස ගස් හැදුණේය. සියවස් ගණනාවක් වල්බිහිවී ගිය අනුරාධපුර පූජා නගරය අද පවතින තත්ත්වයට පත්කිරීමට මුල් වූයේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාය. කැලෑවට ගිය පූජා නගරය යළි එළිපෙහෙළි කළ පසුව රට පුරා සැදැහැවත්හු අනුරාධපුරයේ වට වන්දනාවේ ගියෝය.

ඉනික්බිති 1948 වසරේදී අනුරාධපුර පූජා භූමිය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. අනතුරුව 1949 මාර්තු 13 වන දින නගර නිර්මාණ ශිල්පී “හොලිඩේස් ක්ලිෆර්ඩ්” ගේ මූලිකත්වයෙන් අනුරාධපුර පූජා භූමි සං‍රක්ෂණ වැඩසටහන ආරම්භ විය. එහි මූලික අරමුණ වූයේ අනුරාධපුර පූජා භූමිය තුළ පවතින සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කර ඒවා නව නගරය තුළ ඉදිකිරීමත් පූජා නගරයේ ස්මාරක සං‍රක්ෂණය කර ආරක්ෂා කිරීමත්ය. එහෙත් 1949 ආරම්භකළ මෙම වැඩසටහනේ පැවති මන්දගාමී ස්වරූපය නිසා අපේක්ෂිත අරමුණු ඉටු නොවීම නිසාත් 1961 වසරේදී අංක 32 දරන “අනුරාධපුර සං‍රක්ෂණ මණ්ඩල පනත” මගින් පූර්ණ බලැති අනුරාධපුර සං‍රක්ෂණ මණ්ඩලය පිහිටුවනු ලැබීය. මෙමගින් අනුරාධපුර පූජා භූමියේ සියලු සං‍රක්ෂණ හා සංවර්ධන කටයුතු විධිමත් විය. එදවස අනුරාධපුර මහ දිසාපති නිශ්ශංක විජේරත්න වැනි සභාපතිවරු යටතේ සංවිධිත හා තිරසර නෛතික රාමුවක් යටතේ පූජා නගරයේ ඉමහත් දියුණුවක් ඇතිවිය. මේ කියන නිශ්ශංක විජේරත්න පසුකලක අධ්‍යාපන හා අධිකරණ ඇමැති ධුරයට පත්විය. ඔහු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරුවේය.

1975 වසරේදී මෙම සං‍රක්ෂණ මණ්ඩලය විසුරුවා හැර පාලන කටයුතු විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කෙරිණි. අනතුරුව 1979 වසරේදී අනුරාධපුර සං‍රක්ෂණ මණ්ඩලයේ පාලන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත්විය. 1981 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන සහිත ප්‍රදේශය නිල වශයෙන් අනුරාධපුර පූජා නගරය ලෙස නම් කෙරුණි. එහි ආරක්ෂාව ද තහවුරු කෙරිණි. 1982 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් අනුරාධපුර පූජා නගරය ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදි.

2026 පෙබරවාරි 27 වන දින අංක 2477/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත්කර ඇත.

අනුරාධපුර පූජා නගරයේ සං‍රක්ෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් 1961 වසරේ ආරම්භ කරන ලද අනුරාධපුර සං‍රක්ෂණ මණ්ඩලයේ ආරම්භක නිලධාරියකු ලෙස වසර 20 කට ආසන්න කාලයක් සේවයේ නිරත වූ මහනුවර පිළිමතලාව පදිංචි සමන් ගොඩගම පූජා භූමිය පිළිබඳ සිය මතකය අවදි කළේ මේ ආකාරයෙනි. “..අනුරාධපුර පූජා භූමිය ඇතුළේ ඒ කාලේ ටිකක් ලොකුවට තිබුණු අන්‍යාගමික දේවස්ථාන හැටියට තිබුණේ කතෝලික පල්ලිය. රුවන්වැලිසෑය ආසන්නයේ ඊට නැගෙනහිරින්. දැන් එතන තියෙන්නේ භික්ෂු විශ්වවිද්‍යාලයට අයිති ගොඩනැගිලි මං හිතන්නේ. එතකොට මස්කඩ මාළුකඩ එළවළු කඩ ඔක්කොම තිබුණේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආසන්නයේ. අර කතෝලික පල්ලියට අමතරව මහා පරිමාණ කෝවිල් දේවාල තිබුණේ නෑ. නමුත් තැන තැන පොඩි පොඩි කෝවිල් තිබුණා. මට මතක හැටියට ඒ කාලේ හින්දු කෝවිල් 3 ක් තිබුණා. එකක් අනුරාධපුර - මහනුවර පාරේ පුල්ලෙයාර් හන්දිය ආසන්නයේ නුවරවැවේ තිබුණේ. තව එකක් 1983 ජාතිවාදී කෝලාහල නිසා විනාශ වුණු සිත්තම්පලම් සිනමා ශාලාව ආසන්නයේත් අනික වර්තමාන ශාන්ත ජෝශප් විද්‍යාලය අසලත් තිබුණේ. මං හිතන්නේ ඒවා තාමත් යම් යම් ප්‍රමාණවලින් ක්‍රියාත්මක වෙනවා. ඒ ඇරෙන්න පූජා නගරය තුළ සංවර්ධනය වුණු පල්ලියක් හැටියට තිබුණේ කතෝලික පල්ලිය විතරයි. පූජා නගරේ ගොඩනැගිලි ළඟින් ළඟින් එකට යාවෙලා තිබුණේ. හුඟක් ඒවා තාවකාලික ගොඩනැගිලි. පිළිවෙළක් තිබුණේ නෑ. කොහොමහරි පූජා නගරේ තිබුණු ගොඩනැගිලි ඔක්කොම ඉවත්කරලා නව නගරේ ඉදිකරන්න තීන්දු කළා. එතකොට අනුරාධපුර පළමුවන පියවර දෙවන පියවර එහෙම මහ ඝන කැලෑවල්. මගෙ නිල නිවාසෙ තිබුණේ කඩ 50 හරියේ. උදේට මුවෝ රංචු පිටින් එනවා නිල නිවාසෙ ගාවට. එතකොට අනුරාධපුර නව නගරේ ගොඩනගනකොට කතෝලික, හින්දු, ඉස්ලාම් දේවස්ථාන ඉදිකරන්න විශාල ප්‍රමාණයේ ඉඩම් දුන්නා. දැන් අනුරාධපුර මහ රෝහල ආසන්නයේ තියෙන සාන්ත ජෝශප් පල්ලිය, සිත්තම්පලම් සිනමා ශාලාව අසල තියෙන කදිරේෂන් කෝවිල වගේම නගරය මැද තැපැල් කන්තෝරුවට යාබද මුස්ලිම් පල්ලියට ප්‍රමාණයෙන් විශාල ඉඩම් වෙන් කළා. ඔය තැපැල් කන්තෝරුව ළඟ තියෙන මුස්ලිම් පල්ලිය එතන ඉදිකරනවට බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. නමුත් එතකොට රජරට දේශපාලන නායකයෙක් වුණු මෛත්‍රීපාල සේනානායක මහත්තයා මැදිහත් වෙලා ඒ අර්බුදය විසඳලා ඒ ඉඩම මුස්ලිම් පල්ලියට වෙන් කළා. ඒ කාලේ අනුරාධපුරේ හිටපු ප්‍රසිද්ධ මස්කඩ ව්‍යාපාරිකයෙක් ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා කියලත් ඒ කාලෙ කතාවක් ගියා. නව නගරයට ගොඩනැගිලි මාරුවීමේදී බෞද්ධ නොවන සමහර ඒවා ඒ තැන්වලම පවත්වාගෙන ගියා. ඒකට හේතුව වුණේ රුවන්වැලි සෑය, ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ථූපාරාමය වගේ ජනාකීර්ණ තැන්වල ජනතාව වගේම ගොඩනැගිලි නව නගරයේ ස්ථාපිත කළාට බසවක්කුලම වැව ආශ්‍රිත ප්‍රදේශය, අනුලා මාවත වගේ තැන්වල ජනතාව ඒ තැන්වලම හිටියා. ඔවුන්ගේ පදිංචි ස්ථානවල වෙනසක් වුණේ නෑ. ඒ හින්ද සමහර කුඩා දේවාල වගේම කෝවිල් දිගටම ක්‍රියාත්මක වුණා..” යනුවෙන් සමන් ගොඩගම විස්තර කළේය.

මේ කියන ආකාරයට අතීතයේද පූජා නගරය තුළ කෝවිල් තිබී ඇත. කෙසේ නමුදු එල්ල වන චෝදනාව වන පූජා භූමිය තුළ අන්‍යාගමික දේවස්ථාන ඉදිකරන බවටත් සැදැහැවතුන්ට ඇතුළුවීමට බාධාවන ආකාරයට වැටක් ඉදිකරන බවටත් පැතිර යන කතා ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මෙසේ කීවේය.


“..ඇත්තටම ඒකේ කිසිම සත්‍යතාවක් නෑ. මේ අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව සියල්ලම තියෙන්නේ බෞද්ධ ස්මාරක. එකක් තියෙනවා කාලි කෝවිල කියලා. අනුරාධපුර යුගයට අයත් පැරණි එකක්. ඒක පැරණි ස්මාරකයක් හැටියට පුරාවිද්‍යාවෙන් ගැසට් කරලා තියෙන්නේ. අනික් සියලුම ස්මාරක බෞද්ධ ස්මාරක. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව වර්ග කිලෝමීටර් 28 තුළ තියෙන සියලුම පුරාවිද්‍යා ස්ථාන අපි ගැසට් කරලා නෛතික රාමුවකට ලක් කරලා තියෙන්නේ. මේ බෞද්ධ සංස්කෘතික සන්දර්භයට රාම කෝවිල කියන එක නැහැ. අපිට රාම කෝවිල කියන එක ආගන්තුකයි. පැරණි විෂ්ණු ශිව කෝවිල් අපේ රටේ තියෙනවා. නමුත් මේ පරිශ්‍රයේ නෑ. මේ ආගන්තුක කෝවිලක් හෝ පිළිමයක් හෝ මේකේ තැන්පත් කළොත් පුරාවිද්‍යා සන්දර්භයට සම්පූර්ණයෙන් පටහැණියි. මේ වගේ කෝවිලක් අලුතෙන් ඉදිකිරීම පනත අනුව සම්පූර්ණ විරෝධියි. එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඔය කතාව මුළුමනින්ම අසත්‍යයක්..”


රුවන්වැලිසෑය වටා ආරක්ෂිත “ ජීව වැටක් ” ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ. ගවයන්ගෙන් හා වෙනත් සතුන්ගෙන් මෙන්ම ඇතැම් මානව ක්‍රියාකාරකම් නිසා පැරණි ගොඩනැගිලි හා පුරාවස්තූන්ට සිදුවන හානිය අවමකර ගැනීම සඳහා මහසෑයට මීටර් 500 ක් පමණ දුරින් ඉදිකර ඇති දැල් වැට මීට වසර කීපයකට පෙර නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද්දකි. කෙසේවෙතත් රුවන්වැලි මහසෑයට හෝ වෙනත් පූජ්‍යස්ථානයකට මහජනතාවට ඇතුළුවීමට හා වන්දනාමාන කිරීමට බාධාවන සේ වැටක් ඉදිකිරීමත් හින්දු හෝ වෙනත් ආගමික ස්ථානයක් අනුරපුර පූජා නගරය තුළ ඉදිකිරීම මෙන්ම රුවන්වැලිසෑය වටා උමග හෑරීමට උත්සාහ කිරීම ආදී වශයෙන් ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය ඒවා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

උද්ගතවී තිබෙන චෝදනා හේතුවෙන් අනුරාධපුර පූජා භූමිය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ උරුම කළමනාකරණය හා සං‍රක්ෂණය මෙන්ම සැලසුම්කරණය හා සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති උපදේශක සභාවක් පසුගියදා පිහිටුවනු ලැබීය. 32 දෙනකුගෙන් සමන්විත මෙම උපදේශක සභාවේ සම සභාපතිවරුන් වන්නේ වැඩබලන අටමස්ථානාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී මහාවිහාර සංඝසභාවේ මහා ලේඛකාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ඊතලවැටුනුවැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිය. එම ජනාධිපති උපදේශක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පුරාවිද්‍යාඥයෝ, ඉතිහාසඥයෝ, වාස්තු විද්‍යාඥයෝ, ඉන්ජිනේරුවෝ, අනුරාධපුර නාගරික කොමසාරිස් ඇතුළු පිරිසක් පත්ව සිටිති.

මින් ඉදිරියට අනුරාධපුර පූජා භූමියේ සියලු සං‍රක්ෂණ හා සංවර්ධන කටයුතු සිදුවන්නේ මෙම කමිටුවේ සැලසුම් හා අධීක්ෂණය යටතේය.


 

More News..