brand logo
logo
‘‘ඔව් ඇත්තටම මගේ පුහුණු කාර්යමණ්ඩලයට මම ණය වුණා’’ යුපුන් අබේකෝන්

‘‘ඔව් ඇත්තටම මගේ පුහුණු කාර්යමණ්ඩලයට මම ණය වුණා’’ යුපුන් අබේකෝන්

25 July 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ

කාලයක් අපට නොසෑහෙන්න බලාපොරොත්තු දුන්නු ඔබ පහුගිය කාලෙම නිහඬවයි හිටියේ. ඉන් පසුවයි ඔබේ සමුගැනීම ප්‍රකාශ කරන්නේ. නිහඬව සිටි ඒ කාලය තුළ සිදුවණු දේවල් මේ සමුගැනීමට හේතුවුණාද?

ඇත්ත වශයෙන්ම මම 2025 වර්ෂයේදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළා. යුරෝපය තුළ තිබුණු තරග රාශියකටම සහභාගී වුණා. ඒ වගේම 2025 අවුරුද්දේ දකුණු ආසියාවේ මීටර් 100 වෙනුවෙන් වාර්තා කරපු හොඳම කාලයත් මට වාර්තා කරන්න හැකියාව ලැබුණා. එතනින් පස්සේ 2026 වර්ෂයේදී අපිට ප්‍රධාන ඉලක්ක දෙකක් තිබුණා. ඒ තමයි ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල. ඉතින් ඒවා ඉලක්ක කරගෙන පුහුණුවීම් කරන්න අපිට අවශ්‍ය කරන පරිසරය ලැබී නොතිබුණු නිසා ඒ පරිසරය සකසා ගන්න තමයි මම පහුගිය කාලෙම නිහඬව උත්සාහ කළේ. එහෙත් අවසානයේදී මට ඒක කරගන්න බැරි වුණු නිසා තමයි මම ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළේ.


ඔබව ආසියානු ක්‍රීඩා උළෙල හෝ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ඇතුළත් නොකිරීම ද මේ සමුගැනීමට ආසන්නම හේතුව වුණේ?

නැහැ, මං හිතනවා 2026 තරග වාරයේදී තරග කරලා, මට ලංකාවෙන් ලබා දීලා තිබුණු ඒ පරිසාධන මට්ටම් ළඟා කරගත්තා නම් මට ආසියානු ක්‍රීඩා උළෙලට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්න අවස්ථාවක් තිබුණා කියලා. ඇත්තටම අපිට මේ තරගවාරයේ තරග කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න එකේ විශාල ගැටලුවක් පැනනැඟිලා තිබුණා. මොකද ඒකට හේතුව මගෙ හිටපු පුහුණුකරු ඉතාලියෙන් ඉවත් වෙලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ක්‍රීඩා කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධුරය ලබාගෙන මේ වෙද්දි එහෙ ගිහින් තියෙන නිසා. එතැනදී මට ඉදිරි පුහුණුවීම් කටයුතු ගැන විශාල අර්බුදයකට මුහුණ දෙන්න වුණා.


ලංකාවේ ක්‍රීඩා ඇමති ඔබේ සමුගැනීමත් සමග කළ ප්‍රකාශයෙන් අපට හැඟී ගියේ, රුපියල් ලක්ෂයක දෙකක මාසික වියදමකින් ඔබ ඔලිම්පික් ජයග්‍රහණයක් සොයාගත යුතුයි කියලයි. යුරෝපයේ ඉඳන් ඔය ඔලිම්පික් පදක්කම සොයනකොට, නැතිනම් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයකුගේ තැන සිට ඔය කියන ඔලිම්පික් පදක්කම සොයන්න නම් ඇත්තටම මාසයකට කොපමණ වැයක් දරන්න වෙනවද?

ඔව්. ඇත්තටම ක්‍රීඩා ඇමතිතුමා කරපු ප්‍රකාශය මම මාධ්‍ය හරහා දැක්කා. ඒ ගැන ඇත්තටම තියෙන්නෙ කනගාටුවක්. මොකද එක එක ආණ්ඩු යටතේ පත්වෙන ඇමතිවරු සහ ඔවුන්ගේ උපදේශක කණ්ඩායම් තීරණය කරනවා අපි ක්‍රීඩකයෙක්ට දෙන්නෙ මෙන්න මේ වගේ ගාණක් කියලා. ඉතින් ඒ තීන්දු කරන ගාණ ලංකාවේ ඇතුළෙ ජීවත්වෙන ක්‍රීඩකයෙක්ට සහ ලංකාවෙන් පිට ජීවත් වෙන ක්‍රීඩකයෙක්ට බලපාන විදිහ ඒ අය තේරුම් ගන්නවද? එතැනදි මේ ගාණ කියන එක කොපමණ තරම් දුරට ප්‍රායෝගිකද කියන එක ගැන අදහසක් නැහැ. දැන් උදාහරණයක් හැටියට මගේ කණ්ඩායමේ පුහුණුකරුවෝ ඉන්නවා, සහය පුහුණුකරුවෝ ඉන්නවා, භෞත චිකිත්සක, මනෝ උපදේශකයෙක්, ඊට පස්සේ පෝෂණවේදියෙක් වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ හැමෝම ඉතාලිය ඇතුළෙ වෘත්තීමය අය. ඉතින් අපිට කිසි වෙලාවක ඔවුන්ගෙන් ඒ දේවල් නොමිලේ බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අයගේ අයකිරීම් අපි ගෙවන්න ඕන. ඉතින් අපිට ඔවුන් සමග එකතු වෙලා පුහුණුවීම් කරන්න අවශ්‍ය නම්, අපිට තවත් ජයග්‍රහණ ගේන්න අවශ්‍ය නම් මුදල් කියන කාරණය අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් මම හිතන්නෙ නැහැ ඒ වගේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා පුහුණුවීම් කරන්න ලංකාවේ ක්‍රීඩකයෙක්ට ලෝකෙ ඕනෑම තැනක රුපියල් ලක්ෂ දෙකක වගේ මුදලකට පුළුවන් වෙයි කියලා.


එතකොට හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ඔබට පොරොන්දු වුණු ඩොලර් ලක්ෂ තුනක මුදල කියන්නේ ඉතාම සාධාරණ මුදලක්...?

ඔව්, ඇත්තටම මම මාධ්‍ය හරහා දැක්කා ක්‍රීඩා ඇමතිතුමා ප්‍රකාශ කරලා තිබුණා 'යුපුන් අපෙන් ඩොලර් ලක්ෂ තුනක මුදලක් ඉල්ලනවා' වගේ ප්‍රකාශයක්. ඉතින් ඇත්තටම මේක වර්තමානයේ පවතින ගැටලුවක් නෙමෙයි, 2022 වර්ෂයේ ඉඳලා තියෙන ගැටලුවක්. ඉතින් මම උත්සාහ කරා 2022 වර්ෂයේ ඉඳන්ම මේ ගැටලුවට උත්තරයක් හොයන්න. මම ඒ නිහඬ සටන කරේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, ලංකාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්. මොකද ලංකාවේ වෘත්තීමය ක්‍රීඩකයෙක් වෙනවා කියන්නේ සෑහෙන්න කරදර, දුෂ්කරතාවලට පත්වෙන්න පුළුවන් කාරණයක්. කිසිම වෙලාවක තමන්ගේ මනස නිදහස්ව පුහුණුවීම් කරන්න බැහැ. මොකද කියන දිනයට අදාළ ගෙවීම් ලැබෙන්නේ නැහැ. තමන්ට එන ආබාධ, ගෙවල්වල ප්‍රශ්න සහ අනෙකුත් ප්‍රශ්න නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩාව අතහැරලා යනවා. සහ තමන්ගේ ක්‍රීඩාව අතහැරලා යන දවසට ඒ අය යන්නෙ කලකිරුණු සිතින් සහ හිස්වුණු සාක්කුවලින් නම්, මං හිතනවා රටේ ඊළඟ පරම්පරාව ඒ ක්‍රීඩාව තෝරගන්න එකෙන් වළකිනවා කියන එක. ඉතින් මට අවශ්‍යතාවය තිබුණේ රටේ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් තුළින් මේ ක්‍රීඩක ගිවිසුම් තමන්ගේ දක්ෂතා දක්වන පිළිවෙළට සකස් කරලා දෙන්න. එක එක ක්‍රීඩාවල තියෙන ජනප්‍රියතාවය සහ වටිනාකම වෙනස්. ඉතින් උදාහරණයක් විදිහට මේ ක්‍රීඩක ගිවිසුම 2022 වර්ෂයේ මට සාර්ථක කරගන්න පුළුවන්කමක් ආවා නම්, එතනින් පස්සේ බිහිවුණු තරුෂි කරුණාරත්න, අරුණ දර්ශන, රුමේෂ් තරංග වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ ක්‍රීඩාව තවදුරටත් ඉතා ඉහළම මට්ටමේ පවත්වාගෙන යන්න හැකියාව තිබ්බා කියන එක මම විශ්වාස කරනවා. එහෙම ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැතුව රටක ක්‍රීඩාවක් පවතින්නෙ නැහැ. ඉතින් ඒ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවකින් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය රට වෙනුවෙන් වැය කරන සියලුම දෙනාට නිසි ගෙවීම් ලැබිය යුතුයි කියන තැන මම ඉන්නවා.


ඔබ යුරෝපයේ සිටීම යුරෝපයට ගැළපෙන වටිනාකම් පිරිනමන අනුග්‍රාහකයන් සොයාගැනීමට අවස්ථාවක් කරගත්තේ නැතිද?

පෞද්ගලික අනුග්‍රාහකයින් විදිහට 'දෙරණ' ආයතනය තමයි මට උදවු කළේ. එතනින් එහා යුරෝපයේ මං පුහුණුවීම් කරත්, ක්‍රීඩා කරත් මම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා මට ලෝකයේ ප්‍රධාන පෙළේ සන්නාමවලින් අනුග්‍රාහකත්වය ලබාගන්න බැරි වුණා. මොකද අපි වගේ රටක එම සන්නාමවලට තිබෙන වෙළෙඳපොළ ඉතා කුඩා නිසා. මාත් සමග ක්‍රීඩා කරන ගොඩක් ක්‍රීඩකයින් මට වඩා අඩු දක්ෂතා දැක්වූවා වුණත් ඔවුන් යුරෝපයේ රටවල් තුළ, විශේෂයෙන්ම ඉතාලිය වගේ රටවල් වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා ඒ අනුග්‍රාහකත්වය ලැබුණා. මං ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා ඒ අනුග්‍රාහකත්වයත් මට ලබාගන්න බැරි වුණා.

ඇත්තටම ඔබ ක්‍රීඩාවෙන් හම්බ කරලම නැතිද? ඩයමන්ඩ් ලීග්වලදි එහෙම ලැබුණු සල්ලි ඔබ හා ඔබේ කාර්ය මණ්ඩලය අතරේ බෙදී යන ක්‍රමවේදයක් තිබෙනවද?

ජයග්‍රහණ ලැබුවට පස්සේ මට ඒ ඒ අවස්ථාවල මුදල් ලැබිලා තියෙනවා. ඩයමන්ඩ් ලීග් තරග වාරවලදී ජයග්‍රහණය කරන පිළිවෙළට මුදල් ත්‍යාග ලබා දෙනවා. මම අවසානයට ඩයමන්ඩ් ලීග් තරග වාරවලට සහභාගී වුණේ 2024 දි. නමුත් ඩයමන්ඩ් ලීග්වලදී මගේ කණ්ඩායම අතර මුදල් බෙදී යන ක්‍රමවේදයක් නැහැ. මොකද ඒකෙදි ප්‍රධාන වශයෙන්ම කළමනාකරුගේ ගාස්තුව සහ තරග පවත්වන රටේ බදු අයකිරීම කියන කොටස් දෙක අයින් වෙලා ඉතිරි මුදල් තමා අපිට ලැබෙන්නේ. කණ්ඩායමක් සමග පවතින්නේ වෙනම ගිවිසුමක්. කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු ආරම්භ කරනකොට අවුරුද්දේ මුල අපි ඔවුන් සමග ගිවිසුම්ගත වෙනවා. අපි ජයග්‍රහණ ලබා ගත්තත්, පරාජය වුණත් ඒ තරග වාරය තුළ නියමිත ගෙවීම් අනිවාර්යයෙන්ම ඔවුන්ට ගෙවිය යුතුයි. ඒක මේ ක්‍රීඩාවේ ස්වභාවය. මම වගේ ක්‍රීඩකයෙක්ට තිබෙන අභියෝගයත් ඒකම තමයි.

ක්‍රීඩා ඇමතිවරයා කිව්වා, ඔවුන් ක්‍රීඩකයන්ට සලකන්නේ වත්මන් දක්ෂතා අනුව බලලයි කියලා. ඇත්තටම වර්තමානය වන විට ඔබ ඉන්නේ, ලංකාවේ ඉහළම දක්ෂතා සහිත සංචිතයකට ඇතුළත් වෙන්න තරම් දක්ෂතා නැති තැනකද?

මම 2025 වර්ෂයේදී පළමු කාණ්ඩයට ඇතුළත්ව හිටියා. තත්පර 10.14 ක කාලයක් වාර්තා කරලා දකුණු ආසියාවේ 2025 වර්ෂය තුළ වාර්තා වුණු වේගවත්ම කාලය මගෙ නම ඉදිරියේ සටහන් කරගන්න මට හැකියාව ලැබුණා. නමුත් ක්‍රීඩා ඇමතිවරයා සමග පැවති දුරකථන සාකච්ඡාවකදී මං එතුමාට පැහැදිලි කළා රුපියල් 2,20,000 ක වගේ මුදලකින් යුරෝපය තුළ ක්‍රීඩා කටයුතු කරන්න නොහැකි බව. එතුමා ඒ වෙලාවෙ ඒක පිළිගත්තා.

මෙතන තියෙන අනිත් කාරණය තමයි වර්තමාන දක්ෂතාව අනුව බලලා ක්‍රීඩකයන්ට සලකනවා කියන එක. ඒක ඉතාම වැරදි ප්‍රකාශයක්. මං හිතනවා ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඈත් වෙන්න සහ ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට නොයන්න තියෙන ප්‍රධාන හේතුවක් ඒ ප්‍රකාශය තුළම තියෙනවා කියලා. මොකද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැමදාම එකම විදිහට දක්ෂතාවල ඉන්න බැහැ. ඒක ක්‍රීඩාවේ ස්වභාවය. ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. කිසිම ක්‍රීඩක ක්‍රීඩිකාවකට තමන්ගේ ජීවිතයේ අවුරුද්දෙන් අවුරුද්ද එකම විදිහට තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න බෑ. මොකද ඔවුන්ට එන ආබාධ සහ අනෙකුත් දේවල් නිසා ඔවුන්ව කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙලා ඉන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ හොඳටම දක්ෂතා දක්කපු ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වෙලා මේ තරගවාරයේ ක්‍රීඩා කරන්න නොහැකි වුණොත්, මේ කියන විදිහට වර්තමාන දක්ෂතා බලල නම් ඔවුන්ව සංචිතගත කරන්නේ, අර ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඒ සංචිතයෙන් ඉවත් වෙනවා. එතකොට ඒ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ලැබිය යුතු ගෙවීම් සියල්ල නතර වෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයාට ජීවන අරගලය, ආබාධය සුව කරගන්න සහ තමන්ගේ ජීවිතයේ එන අනෙකුත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තියෙන එකම මාර්ගයත් නතර වුණාට පස්සේ මානසිකව වැටෙනවා. මොකද ආර්ථික ප්‍රශ්නයක් එයා ඉස්සරහා පිට තියෙනවා. එතකොට කොච්චර දක්ෂ වුණත් එයා ක්‍රීඩාවෙන් සමුගන්නවා. හොඳම උදාහරණ අපිට ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. සචිත් මධුරංග ක්‍රීඩාවෙන් සමුගත්තා. එතකොට අමිල ප්‍රසන්න දුර පැනීමේ ක්‍රීඩාවේ ලංකාවේ වාර්තා ලාභියා, ඒ වගේම තුම්පිම්ම ඉසව්වෙන් ලංකාවේ බිහිවුණු හොඳම ක්‍රීඩකයා ශ්‍රේෂාන් ධනංජය ක්‍රීඩාවෙන් සමුගත්තා. ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම ගැටලුව වෙන්නේ කොන්ත්‍රාත්තුවකින් තොරව කාලෙන් කාලෙට වර්තමාන දක්ෂතාව විතරක් බලලා ඔවුන්ව සංචිතගත කිරීම සහ ගෙවීම් සිදුකිරීම. ඉතින් මං හිතනවා මේක වෙනස් නොවෙනතාක්කල් ලංකාවේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න අමාරුයි කියලා.

පසුගිය කාලයේ ඔබ ආබාධවලට ගොදුරු වුණා. නමුත් ඩයමන්ඩ් ලීගයට ලංකාවේ නම ගෙනගිය ක්‍රීඩකයා ඔබ. ලංකාවෙ අපට හීනයක් වෙයි කියලා හිතුණු, අපේම එකෙක් තත්පර දහයකට අඩුවෙන් මීටර 100ක් දීවීම හැබෑ කළ පුද්ගලයා ඔබ. දකුණු ආසියාවේම එවැනි වික්‍රමයක් කළ එකම කෙනා ඔබ. ඔබ වැනි ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුණොත්, ඒ වෙනුවෙන් රක්ෂණයක් තිබිය යුතුයි නේද?

ඕනෑම ක්‍රීඩාවක් තුළ ආබාධ කියන දේ ගොඩක් සුලභ දෙයක්. එක එක ක්‍රීඩාවලට ඒ ආබාධ බලපාන විදිහ වෙනස්. විශේෂයෙන්ම මීටර් 100 වගේ වේගවත්, තත්පරයෙන් 100න් පංගුවක් එක්ක සටන් කරන ධාවන ඉසව්වක සුළු හෝ ආබාධයක් කියන්නේ ගොඩක් ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් දෙයක්. මමත් ආබාධ කීපයකටම මුහුණ දුන්නා වගේම නැවත තරගබිමට ඇවිල්ලා ජයග්‍රහණත් ලබාගත්තා. ආබාධවලට ඉඩදීලා ක්‍රීඩාවෙන් ඉවත් වෙලා හිටියා නම් මට කිසිම දවසක මීටර් 100 ඉසව්ව තත්පර 9.96 කින් ඉවර කරන්න අවස්ථාවක් එන්නේ නැහැ වගේම දකුණු ආසියාවේ එම ජයග්‍රහණය ලබපු පළවෙනි ක්‍රීඩකයා විදිහට ලංකාවට ආඩම්බරයක් අරන් එන්න හැකිවෙන්නේ නැහැ. ක්‍රීඩකයෙක් කියන්නේ එන ආබාධ හමුවේ උපරිමයෙන්ම නොසැලී ඉඳලා, ඒක සුව කරගෙන කොහොම හරි නැවත වාරයක් තමන්ගේ සුපුරුදු දක්ෂතාවලට එන කෙනෙක්. ඉතින් මම උත්සාහ කරා රක්ෂණයක් වගේ දෙයක් ලබාගන්න. නමුත් මම හිතන්නේ ලංකාව තුළ පවතින ඒ රක්ෂණ ආවරණවල පිටරටවල ක්‍රීඩා කරන්න ගිහින් සිද්ධවෙන අනතුරු ආවරණය කිරීමක් කරන්නේ නැහැ.

ඇත්තටම ඔබ ලෝකෙට ණයයිද? පිළිතුර ඔව් නම්, ඔබ මොනවාටද ඒ ණය වුණේ?

"මම රටට ණයට නෑ, හැබැයි ලෝකයට ණයයි" කියන එකෙන් මං අදහස් කරේ, මං වෙනුවෙන් මහන්සි වුණු, මාව පුහුණුවීම් කරපු, මට ප්‍රතිකාර කරපු සියලුම අයට මම තාමත් මුදල් ගෙවිය යුතුයි කියන කාරණය. මම මුලිනුත් කියපු විදිහට, අවුරුද්දෙ මුල මම මගේ කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කරලා, ඒ කියන දිනයට සල්ලි ගෙවන්න ඕනේ. නොගෙව්වොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සහ කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මම ලංකාවෙන් උදවු ඉල්ලගෙන මෙම ක්‍රීඩක ගිවිසුම ක්‍රියාත්මක කරගන්න අවංකවම උත්සාහ කරා කියන එක එයාලා දැක්කා. එයාලත් ඒවට සම්බන්ධ වුණා. ඇමතිවරු සමග සාකච්ඡාවලට ආවා. ඒ සාකච්ඡාවල ඇමතිවරු පොරොන්දු වුණා ඒ දේවල් ලබා දෙනවා කියලා. ඉතින් මේ පහුගිය අවුරුදු තුනක, හතරක කාලය තුළ ඔවුන් එම මුදල් ලබා දෙයි කියන විශ්වාසය මත මම මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද වුණත් උපරිමයෙන් මහන්සි වෙලා ක්‍රීඩා කරනවා කියන එක ඔවුන් දැකපු නිසාත්, මාව කණ්ඩායමෙන් ඉවත් නොකර මේ අවුරුදු හතරක කාලය තුළ මට පුහුණුවීම් කටයුතු කරා. ඒ ගැන මං ඔවුන්ට මේ අවස්ථාවේ විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් මම අදහස් කරේ, මං වෙනුවෙන් මහන්සි වුණු පුද්ගලයන්ට මම තාමත් ණයයි කියන කාරණය.

ඇත්තටම මෙරට වත්මන් ක්‍රීඩා බලධාරීන් ඔබව නොසලකා හැරියද? කවුද ඔබට උපකාර කළ ඉහළ මට්ටමේ චරිත?

මම ඇත්තටම අවුරුදු හතරක් තිස්සේ මේ ගැටලුවට පිළිතුරු හෙව්වා. ඉතින් එම ගැටලුව ක්‍රීඩා සම්බන්ධයෙන් නිසාවෙන් දැන් පවතින රජයේ ක්‍රීඩා ඇමතිවරයාගේ අවධානය මේකට යොමු කරන්න මම විශේෂයෙන් උත්සාහ කරා. නමුත් ඒකට මට හම්බවුණේ අවස්ථා දෙකයි. එක් අවස්ථාවක් මට එතුමා සමග දුරකථනයෙන් හම්බවුණා. අනිත් අවස්ථාව තමන්ගේ විෂය නොවුණත් වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහත්මයා එක්ක දුරකථන ඇමතුමකින් මට පාර්ලිමේන්තුව තුළදී ක්‍රීඩා අමාත්‍යවරයාව හම්බවෙන්න අවස්ථාවක් ලබාදුන්නා. ඉතින් ඒකට මං මේ අවස්ථාවේදී ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වුණා මේ ගැටලුව ඔවුන් සමග කතා කරන්න. මොකද මං විශ්වාස කරනවා, ක්‍රීඩකයෙක් අවුරුදු ගාණක් පුහුණුවීම් කරලා ඔහුගේ පුහුණුකරුත් සමග පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ලා ජයග්‍රහණ ලබන මොහොතේ, පවතින රජයේ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ ජයග්‍රහණයේ කොටස්කාරයෙක් වෙනවා වගේම, පෙර ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් තමන්ගේ රජය පත්වීමට පෙර ඔහුට ගැටලුවක් පැමිණියහොත් එය තමන්ගේ ගැටලුවක් නොවේ කියලා එතනින් ඉවත් වෙලා යන එක එච්චර සුදුසු කාරණයක් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම උත්සාහ කරේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි, මුළු ලංකාවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ දේ කරන්න. ඉතින් ඇත්තටම වර්තමාන ක්‍රීඩා බලධාරීන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූයේ ඉතාම අවම වශයෙන්.

ධාවන පථයට දායාදවීමට නියමිත මේ රටේ උදවියට ඔබ දෙන පණිවුඩය...

ඇත්තටම මම ලංකාවට ගිය අවස්ථාවල සහ තරගවලට පිටරටවලට යන අවස්ථාවලදී ගොඩක් වෙලාවට මට ලංකාවේ පොඩි දරුවන්ව හම්බවෙනවා. ඉතින් ඒ අය ඇවිල්ලා කියනවා 'දවසක අයියා වගේ වෙන්න ඕනේ, මීට් දිනන්න ඕනේ' කියලා. පොඩි කාලේ මගෙත් තිබ්බ එකම ආසාව මේ ක්‍රීඩාවෙන් ලෝකෙ දිනන එක. ඒත් ඒ වේදිකාවට ආවට පසුවයි අපි වගේ පසුබිමකින් මතුවට ක්‍රීඩකයන්ට විඳින්නට සිද්ධ වෙන දේවල් තේරුම් යන්නේ. ඒ වුණත් මට අවශ්‍යතාවය තිබ්බේ නැහැ කිසිම වෙලාවක මේ ක්‍රීඩාව මේ වගේ අසීරු දෙයක්, මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා කියන එක කියලා ඒ හීන පොඩි කාලෙම මරලා දාන්න. ඉතින් මං ඒ අයටත් හැමවෙලේම කිව්වේ ක්‍රීඩා කරන්න, කිසි ගැටලුවක් නැහැ. හැබැයි අධ්‍යාපනය කියන දේ අනිවාර්යයෙන්ම කරන්න කියලයි. මං දැනුත් ඒක කියනවා, මොන ක්‍රීඩාව කළත් තමන් කැමති ඕනෑම වෘත්තියකට අදාළ කරන අධ්‍යාපන පසුබිම සකස් කරගන්න. ක්‍රීඩාව වෙනුවෙන්ම 100% ක් තමන්ගේ ජීවිතය වැය කරන්න එපා. මොකද තාම ඒ වෘත්තීයමය භාවය ලංකාවේ මට දකින්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ විතරයි. අනිත් කිසිම ක්‍රීඩාවක ඒ තැනට තාම ලංකාව පත් වෙලා නැහැ. තමන් අධ්‍යාපනය කරගෙන තමන් කැමති විෂයකින් තමන් සුදුස්සෙක් වෙලා තිබුණොත් තමන්ගේ ජීවිතේ ඉදිරි අනාගතය ගැන තමන්ට බයවෙන්න කිසිම කාරණයක් නැහැ. ඒ නිසා අධ්‍යාපනය කියන දේ අනිවාර්යයෙන්ම ක්‍රීඩාවත් සමග කොච්චර අමාරු වුණත් කරන් යන්න. ජීවිතේ දවසක ක්‍රීඩාව අවසන් කරන දවසේ ඔයාලා ඔයාලටම ස්තූති කරගනී 'මං මේ අධ්‍යාපනය කරගත්තු එකේ වටිනාකම' කියලා.


 

More News..