brand logo
logo
යාපනයේ රජවරු දණගස්වමින් ගාල්ල අලුත් ඉතිහාසයක් ලියයි

යාපනයේ රජවරු දණගස්වමින් ගාල්ල අලුත් ඉතිහාසයක් ලියයි

08 August 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ


ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති 2026 එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී කඩුලු 5 ක ජයක් ලබමින් එල්.පී.එල් ඉතිහාසයේ පළමුවරට ශූරතාවක් ගාල්ල වෙනුවෙන් දිනාදීමට දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම සමත්විය.


මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3කදී ලකුණු 123කට සියලු දෙනා දැවී ගිය අතර මෙම පහසු ඉලක්කය පන්දුවාර 15'5කදී කඩුලු 5 ක් දැවී සපුරාලීමට ගෝල් කණ්ඩායමට හැකියාව ලැබුණි.


ඒ සමගින්ම මෙතෙක් පැවැති එල්.පී.එල් තරගාවලි 6 අතුරන් 5 වැනි වරටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ජැෆ්නා කණ්ඩායමට පළමු වරට අනුශූරතාවකින් සැහිමට පත්වන්නට සිදුවිය.


පිතිකරුවන්ට වැඩි වාසි හිමිකරදෙන ස්වභාවයකින් සැකසුණු තණතිල්ලේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ කිසිදු පැකිලීමකින් තොරව පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්තේ, එමගින් පීඩනයකින් තොරව පිත්ත හැසිරවීමට හැකිවීමටත් ප්‍රතිවාදීන් මත ලකුණු පුවරුවේ පීඩනය පැටවීමටත් හැකි බව ප්‍රකාශ කරමිනි.


නමුත් ගෝල් නායක දසුන් විසින් සිය දඟ පන්දු යවන්නන් යොදාගනිමින් පන්දු යැවූ ඉනිම ආරම්භයේදීම අවිශ්ක ප්‍රනාන්දු සහ කවාජා නෆායිගේ කඩුලු පිළිවෙලින් තරිදු රත්නායක සහ චරිත් අසංක විසින් දවාගැනීමත් සමගම ජැෆ්නා හී සැලසුම අවුල් විය. ඒ අනුව පවර්ප්ලේ අවස්ථාව අවසන් වන විට ජැෆ්නා ලකුණු පුවරුව ලකුණු 41ට කඩුලු 2ක් වශයෙන් සටහන් වුණි. මෙය මෙවරට එල්.පී.එල් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම වෙතින් පවර් ප්ලේ අවස්ථාවකදී වාර්තා වූ අවම ලකුණු සංඛ්‍යාව විය.


අනතුරුව අසලංක ප්‍රමුඛ ගෝල් දඟපන්දු යවන්නෝ ප්‍රතිවාදීන් මත සිය ආධිපත්‍යය දිගින් දිගටම රඳවාතබමින් ලකුණු 68ක් තුළ ජැෆ්නා පිලේ මුල් කඩුලු 5ම සියතට ගත්හ.


සුපිරි සැලැසුමක අනුව පන්දු යවන්නන් රැඳවූ ගෝල් නායක දසුන් ශානක, එශාන් මාලිංග ප්‍රමුඛ සිය වේග පන්දු යවන්නන්ගෙන්ද උපරිම ප්‍රතිඵල නෙලාගනිමින් එක පිට එක ජැෆ්නා කඩුලු බිද හෙලද්දී එම කණ්ඩායමේ පළමු කඩුල්ල හැරුණු විට සෙසු එකදු කඩුල්ලකට හෝ ලකුණු 20 ඉක්මවා ගිය සබවදතාවක් පිහිටුවීමට අවස්ථාව නොලැබුණි. එසේම ඉකුත් ක්වලිෆයර් තරගයේදී හයේ පහර 16ක් සහ හතරේ පහර 19ක් එල්ල කරමින් මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තා කළ ජැෆ්නා කණ්ඩායමෙන් මෙම අවසන් මහා තරගයේදි එල්ල වූයේ හයේ පහර 2ක් හතරේ පහර 10ක් පමණි. ඊයේ ජැෆ්නා පිතිහරඹය මෙම එල්.පී.එල් තරගාවලියේ ඉනිමකදී ලැබූ අවම ලකුණු එකතුව බවටද පත්විය.


 ලකුණු 05ක් ලබා සිටි කමිල් මිශාරගේ පිත්තෙන්, පන්දු යවමින් සිටි චරිත් අසලංක අතට ඇදීගිය උඩපන්දුව අතහැරීම හේතුවෙන් ලකුණු 41ක් ලබමින් ජැෆ්නා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. චරිත් අසලංක සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් දවාගත්හ. 

ලකුණු 124ක පහසු ඉලක්කය හඹායෑමේදී ගෝල් කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 10කදී දැවී ගියද අනතුරුව ටී.එෆ් රොජර්ස් සහ දිනුර කළුපහන තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41කදී ලකුණු 64ක සබදතාවක් පිහිටුවමින් ගෝල් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී පදනමක් දැමූ අතර අවසානයේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15කදී ලකුණු 27ක නොබිදුණු සබදතාවක් තබද්දී පන්දු 9කදී නොදැවී ලකුණු 20ක් ලබාගත් නායක දසුන් ශානකගේ පිත්තෙන් වාර්තා වූ මනරම් හයේ පහරකින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුුරු විය.


 

More News..