brand logo
logo
සෞඛ්‍යාරක්ෂිත කෙස් ආලේපනයක් නිවසේදීම  සාදන හැටි

සෞඛ්‍යාරක්ෂිත කෙස් ආලේපනයක් නිවසේදීම සාදන හැටි

08 August 2026 | සඳුපමා විජේරත්න

කොණ්ඩය කියන්නේ අපේ බාහිර පෙනුම තීරණය කරන ප්‍රධානතම අංගයයි. මේ නිසාම රූපලාවණ්‍ය සත්කාරවලදී කේශ කල්‍යාණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම හිසකෙස් දිගුව හා ඝනව පවත්වා ගැනීම, අකලට හිසකෙස් වැටීම සහ පැසීම වළක්වා ගැනීම පිළිබඳව අප හැමෝම දැඩි ලෙස උනන්දු වෙමු. මෙසේ නීරෝගීව පවත්වා ගන්නා කෙස් කලඹින් විවිධ විලාසිතා කිරීමට කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද දැඩි රුචිකත්වයක් දක්වයි.


කොණ්ඩය පාට කිරීමේ ජනප්‍රිය රැල්ල සහ        එහි සැඟවුණු අන්තරාය

කොණ්ඩය ස්ටේට් කිරීම, රැළි ගැන්වීම (Curl) සහ වර්ණ ගැන්වීම වර්තමානයේ ඉතා ජනප්‍රිය හිසකෙස් විලාසිතා වේ. මේ අතරින් කොණ්ඩය රැළි ගැන්වීම හා කර්ල් කිරීම මේ දිනවල තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත වී ඇත. යම් යම් රසායනික ආලේපන වර්ග භාවිතයෙන් ඉතා පහසුවෙන් නිවසේදීම කොණ්ඩය රැළිගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ජාලයන්හි බහුලව සංසරණය වීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.


නමුත් මෙලෙස විවිධ ආලේපන භාවිත කරමින් හිසකෙස් රැළි ගැන්වීමට උත්සාහ කිරීමේදී අප මුලින්ම මතක තබාගත යුතු කාරණය වන්නේ, නිසි ප්‍රමිතියකින් තොර ආලේපන අපගේ ශරීරයට අතිශයින්ම අහිතකර බවයි. හිසකෙස්වල මූලය සම්බන්ධ වී පවතින්නේ අපගේ හිස්කබලටයි. එම නිසා අප හිසකෙස්වල ගල්වන ඕනෑම රසායනික ද්‍රව්‍යයක් හිස්කබලේ පිහිටි සූක්ෂ්ම රුධිර නාළ හරහා අපගේ ශරීර අභ්‍යන්තරයට ඇතුළු වේ.


වෙළෙඳපොළේ ඇති ප්‍රමිතියෙන් තොර බාල නිෂ්පාදනවල රසදිය වැනි ශරීරයට අතිශයින්ම අහිතකර බැර ලෝහ සංඝටක අඩංගු විය හැක. මෙවැනි ආලේපන දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී එම බැර ලෝහ රුධිරයට එකතු වී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන අතර, අවසානයේ පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතී.


එපමණක් නොව, කොණ්ඩය රැළි ගැන්වීමේදී භාවිත කරන අධික උණුසුම ලබාදෙන යන්ත්‍ර නිසාද නොදැනුවත්වම කෙස් කලඹට මහත් හානියක් සිදුවේ. හිසකෙස් නිර්මාණය වී ඇත්තේ 'කෙරටින්' නැමැති ප්‍රෝටීනයෙනි. යන්ත්‍ර මගින් අනවශ්‍ය උණුසුමක් ලබා දෙන විට මෙම ප්‍රෝටීන් ව්‍යුහය වෙනස් වී, කෙස් ගස තුනී වී, දිරාපත්ව ඉක්මනින් කැඩී යාමට පටන් ගනී.


ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිවලට වන හානිය

අනෙක් අතට, සැර රසායනික ආලේපන නිසා හිස්කබලේ ස්වාභාවිකව තෙල් ශ්‍රාවය කරන 'ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි' වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. මෙයින් හිස්කබලේ තිබිය යුතු ස්වාභාවික තෙතමනය නැතිවී හිස්කබල දැඩි ලෙස වියළීමට ලක්වේ. මෙහි ඍජු ප්‍රතිඵලය වන්නේ අකලට හිසකෙස් ගැලවී යාම, හිසකෙස් සිහින් වීම සහ ඉක්මනින් කොණ්ඩය පැසීමට ලක්වීමයි.

ස්වාභාවික විකල්පය: ගෙදරදීම සාදාගන්නා Curling Cream

සෞඛ්‍යයට හානි පමුණුවන මෙවැනි කෘත්‍රිම රසායනික ආලේපන වෙනුවට, සම්පූර්ණයෙන්ම ස්වාභාවික ද්‍රව්‍යයන් ඇසුරින් හිසකෙස් රැළි ගන්වන අගනා ආලේපනයක් නිවසේදීම සාදා ගැනීමට ඔබට හැකියාව ඇත.


අවශ්‍ය ද්‍රව්‍ය:

පොල්තෙල් - මේස හැඳි 02

කෝමාරිකා ජෙල් - මේස හැඳි 02

ආමන්ඩ් තෙල් - මේස හැඳි 01

විටමින් E කරල් - 01


සාදාගන්නා ආකාරය:

මෙම සියලු ද්‍රව්‍ය පිරිසුදු භාජනයකට දමා ඉතා හොඳින් මිශ්‍ර කරන්න. එවිට මෙය තරමක ඝන ස්වරූපයකට (Cream style) පත්වේ. පසුව මෙම මිශ්‍රණය පියනකින් වැසිය හැකි භාජනයක දමා ශීතකරණය තුළ පැය දෙකක පමණ කාලයක් තබන්න. පසුව මෙම ආලේපනය හිරු එළිය නොවැටෙන සිසිල් ස්ථානයක තබන්න. මෙය මාසයක් පමණ ඔබට ආරක්ෂිතව භාවිත කළ හැකියි.


භාවිතා කරන අයුරු:

හොඳින් හිසකේ සෝදා තරමක් වියළා ගත් පසු, ආලේපනයෙන් මඳක් ගෙන අත්ල මත තවරා හිසකෙස් පුරා හොඳින් ආලේප කරන්න. දැන් හිසකෙස් කොටස් වශයෙන් ගෙන තමන්ගේ ඇඟිල්ල වටා කරකවමින් රැළි සකස් කර ගන්න. මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවික සංඝටකවලින් සෑදූ නිසා සෝදා හැරීමකින් තොරව 'Leave-on hair cream' එකක් ලෙස තබා ගැනීමේ කිසිදු ගැටලුවක් නැත.


ස්වාභාවික සංඝටකවල පෝෂණ ගුණය

පොල්තෙල්: හිස්කබලට ඉතා පහසුවෙන් අවශෝෂණය වන අතර හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලබා දී හිස්කබල වියළීමෙන් වළක්වයි.

කෝමාරිකා ජෙල්: කෝමාරිකා සාරය හිසකෙස් ඝනකම් කර ශක්තිමත් කරයි. හානි වූ වියළි හිසකෙස් නැවත නීරෝගී කර හිසට සිසිලසක් ලබා දෙයි. එහි ඇති විටමින් A, C, E මගින් දිදුලන බවක් ලබාදෙන අතර, B12 සහ ෆෝලික් අම්ලය මගින් අකලට හිසකෙස් වැටීම පාලනය කරයි.

ආමන්ඩ් තෙල්: මෙහි අඩංගු ඔමේගා 9 සහ විටමින් E මගින් කෙස් මුල ශක්තිමත් කර හානි වූ හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කරයි.

විටමින් E: මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වර්ධනය වේගවත් කර, හානි වූ හිසකෙස් සුවපත් කර නීරෝගී කෙස් කලඹක් ලබා දෙයි.


ආයුර්වේද වෛද්‍ය

එස්.එම්. මධුෂාණි වත්සලා කුමාරි


 

More News..