Best News Website award
brand logo
logo
මෙට්‍රො සැපෙන් වැසිය හැකිද බස් මගියගේ දුක...

මෙට්‍රො සැපෙන් වැසිය හැකිද බස් මගියගේ දුක...

18 November 2026


දුගී මගී යාචකයෝ සිහියට නැගේ. දුගියාත්, මගියාත්, යාචකයාත් එකට එක්වන තැනක් ඇත. ඒ බස් රථය තුළදීය. මේ රටේ පොදු මහජනතාව ගමනක් බිමනක් යන්නට භාවිත කරන්නේ බොහෝවිට බස් රථයය. ඇතැමුන් දුම්රියකට නැගී ගමන් බිමන් යති. වැඩ පොළකට, පාසලකට යන එන අය මෙන්ම වෙනත් ගමනක් බිමනක් යන අය දුම්රියකින් ඒ ගමන ගියත් බසයක නැගී ඉතිරි ගමන යන බවද අපි දනිමු. ඒ අනුව ගත් කල ‘බස් රථය’ යනු කොයි කාගේත් පොදු ප්‍රවාහනය බව ඉතා පැහැදිලිය.


මේ හදිසියේම මෙරට පොදු මගී ප්‍රවාහනය වන මගී බස් සේවාව අපට සිහි වූයේ වෙනකක් නිසා නොව ‘සිස්ටම් චේන්ජ්’ එකකට බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුවටවත් මෙරට පොදු මගී ප්‍රවාහන සේවාවේ සමහරක් ජරාජීර්ණ තැන් තිබූ තැනින් අංශු මාත්‍රයක්වත් වෙනස් කිරීමට තාමත් නොහැකි වී තිබීම හේතුවෙනි. ඉන් බැට කන්නේ මේ රටේ වැඩ කරන ජනතාවය. පාසල් යන දරුවන්ය. තම පුද්ගලික යතුරුපැදියේ හෝ මෝටර් රථයක නැගී ගමන් බිමන් යන අය සිටින්නේ සමස්ත ජනතාවගෙන් අතළොස්සක පිරිසකි. මේ රටේ මුළු ජනගහනය මේ වනවිට දෙකෝටි විසිතුන් ලක්ෂයක් පමණකි. මේ අයගෙන් දෙකෝටියකට අධික ජනතාවගේ පොදු ප්‍රවාහනය මගී බස් රථය ය.


මාරු කාසිත් මිනිස් පැයත් බහිරවයාට


මේ රටේ මගී ජනතාවට අද තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ නියමිත මුදලට වඩා බස් කොන්දොස්තර වැඩිපුර මුදල් අයකර ගැනීමේ ප්‍රශ්නය ය. බස් කොන්දොස්තරට අනුව ඊට ප්‍රධානම හේතුව මාරු කාසි නොමැතිකමය. මේ වනවිට බස් හෝල්ට් එකක සිට ඊළඟ හෝල්ට් එකට අය කරන අවම ගාස්තුව රුපියල් 34 කි. රුපියල් හතළිහක මුදලක් බස් කොන්දොස්තර අතට පත් කරන එවැනි මගියකුට ආපසු රුපියල් හයක ඉතිරි මුදල ලැබෙන්නේ නැත. දුන්නොත් දෙන්නේ රුපියල් පහකි. රුපියලක පාඩුව බැර වන්නේ මගියාටය. ඉන්පසුව අයකරන ගාස්තුව රුපියල් 44 ය. එතැනත් රුපියල් හයක ප්‍රශ්නයක් ඇත. මෙයාකරයට බැලූ කල අය කරන ගාස්තු ක්‍රම 176 කදීම මාරු කාසි ප්‍රශ්නයක් නිසා නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් ගෙවීමට මගියාට සිදුව ඇත. මේ ගාස්තු ක්‍රමය සකස් කළ අය කාසි ප්‍රශ්නය ගැන සිතුවේ නම් එක්කෝ ගාස්තු කාසි ප්‍රශ්නයක් ඇති නොවන ලෙසට රවුම් අගයකට පත්කළ යුතුව තිබිණි. බස්වල ‘මාරු කාසි වලි’ දකින්නේ නම් මේ නව බස් ගාස්තු සකස් කළ උදවිය මේ වැඩේ නිවැරැදි කරන බව සහතිකය. ඒ තරමටම ‘කාසි’ හුටපටය බස්වල යන මගියාත්, කොන්දොස්තරවරයාත් මහා විරසකයක පටලවා ඇත. මෙරට වැඩිම ගාස්තු අය ක්‍රමය යටතේ අය කරන මුදල රුපියල් 1492 කි. ඒ මගීන්ට රුපියල් 1500 ක්ම ගෙවා දැමීමට සිදුව ඇත. බැංකු කාඩ්පතක් හෝ වෙනත් තාක්ෂණික කාඩ්පතක් මගින් මුදල් ගෙවීමට සැලැස්වීම මෙයට කදිම විසඳුමකි. නමුත් එය හැමදා වචනයට පමණක් සීමාවන විසඳුමක් බවට පත්ව තිබේ.


මීළඟ ප්‍රශ්නය වනුයේ බස් රථ මන්දගාමීව ධාවනය කිරීමය. මගීන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ‘කොට කොටා’ ධාවනය කිරීමය.


මේ රටේ ගම් නියම්ගම්වල සිටින අයත්, කොළඹ ඇතුළු අනෙකුත් නගරවල අයත් ගමනක් බිමනක් යාමට බසයකට ගොඩවූ පසු පැය ගණන් බස් රථ තුළ කල්ගත කරන්නේ බස් රථ ‘කොට කොටා’ ධාවනය වන නිසාය. මෙනිසා දිනකට මිනිස් පැය දහස් ගණන් නිකරුණේ බස් රථ තුළ අපතේ යන නමුත් ජාතික ගමනාගමන කොමිසම ඒ පිළිබඳ සොයා බලන්නේ නැත. බීරි අලින් මෙන් හැසිරෙන්නේය.


මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියන්නේ මෙවැනි කතාවකි.


‘‘බස් කර්මාන්තය දැන් ගන්න දෙයක් නැහැ. වැඩ කරන්න මිනිස්සුත් නැහැ. මේ රටේ පොදු මගී ප්‍රවාහනය නිවැරැදි කරන්න ගන්න ඕන පියවර පිළිබඳ අපි ඇති තරම් පෙන්වලා දීලා තියෙනවා. ඒත් එදත් ඒවා කරන්නේ නැහැ, අදත් ඒවා කරන්නේ නැහැ. බස්වල මාරු කාසි ප්‍රශ්නය අද ඊයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. බස්වලට කාඩ්වලින් මුදල් ගෙවන්න ක්‍රමයක් ගේන්න කියලා අපි කියන්නේ කාලෙක ඉඳන්. දැන් මිනිස්සුත් ඒකට සූදානම්. ජාතික ගමනාගමන කොමිසමට අපි මොන තරම් යෝජනා ඉදිරිපත් කළාද? බස්වල අවම ගාස්තුව රුපියල් 34 යි. කාඩ් සිස්ටම් එක තිබුණා නම් බස් මගියටත් හොඳයි, කොන්දොස්තරටත් ප්‍රශ්නයක් නැහැ. බස් හිමියන්ටත් ප්‍රශ්නයක් නැහැනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි කොන්දෙස්තරවරුන්ගේ නිල ඇඳුම. ඒ අයට නිල ඇඳුමක් තියෙනවා. අඳිනවද? ඒක හොයලා බලන්න ඕනේ ජාතික ගමනාගමන කොමිසමනේ. මේවායින් තැළෙන්නේ බස්වල යන අහිංසක මගියෝ.


බස් ධාවන කාල සටහනකටනේ ක්‍රියාත්මක වෙන්නේ. මහ මග කොටන බස්වලට පියවර ගන්න පුළුවන්නේ. අනෙක් කාරණය බස් මගීන්ට ටිකට් පත් නිකුත් නොකරන ප්‍රශ්නය. මේ ඔක්කෝටම නීති රීති තියෙනවා. එදා බලයේ හිටපු අයත්, අද බලයේ ඉන්න අයත් අරන් තියෙන පියවර මොනවද? අපිට දැන් මේවා කතා කරලා කතා කරලම එපාවෙලයි තියෙන්නේ’’ ගැමුණු විජේරත්න කියන කතාව ඒකය.


මේ අතර තවත් ප්‍රශ්නයක් ඇත. මේ රටේ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවක් ක්‍රියාත්මකය. අර්ධ සුඛෝපභෝගී යනු කුමක්ද? ඒ බස් රථත් සාමාන්‍ය බස් රථත් අතර කිසිදු වෙනසක් නැත. අර්ධ සුඛෝපභෝගී බස් රථ 500 ක් පමණ මෙරට ධාවනයයට එක්කර තිබූ අතර දැන් බස් රථ ධාවනය වන්නේ 300 ක් පමණකි. සාමාන්‍ය බස් රථයකත්, අර්ධ සුඛෝපභෝගී බස්වලත් වෙනසක් නොවුණත් ගාස්තුවල වෙනසක් ඇත. සාමාන්‍ය බස් රථයක අය කරන මුදල මෙන් එකහමාරක මුදලක් මෙකී අර්ධ සුඛෝපභෝගී බස් රථවලින් අය කිරීම ඒ එකම වෙනසය. පසුගියදා බස් ගාස්තු වැඩි කිරීමේදී සියයට 20 ක ගාස්තු වැඩිවීමක් ලබාදී තිබියදීත් අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුව පෙර පරිදිම එකහමාරකින් වැඩි කර අය කරති. මෙකී අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යන ක්‍රමයක් නැත. ඇතැම් බස් රථවල අතුරු සිදුරු නැතුව මගීන් මේවායේද පටවාගෙන යති. මහමග බස් නොමැති අවස්ථාවල මුදල නොසලකා මගීන් මේවාට ගොඩවී වැඩිපුර මුදල් දී සිය ගමනාන්තවලට යන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. එකම ස්වභාවයේ බස්රථ දෙකකදී නිල් පැහැයෙන් යුත් බෝඩ් ලෑල්ලක් සහිතව ධවානය වන බස් රථයකට වැඩි බස් ගාස්තුවකුත්, අනෙක් ආකාරයේ බෝඩ් ලෑල්ලක් රහිත බස් රථයකට වෙනත් ගාස්තුවකුත් ගෙවන්නට සිදුවේ නම් එවැනි රටක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය අපභ්‍රංශයක්ම නොවේද?


දැන් මෙට්‍රෝත් පොල් පටවන්


වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙට්‍රෝ බස් සේවාවක් ආරම්භ කර ඇත. එහි ගාස්තු සාමන්‍ය බස් රථයකට වඩා මදක් වැඩිය. එහෙත් එකී බස් රථවල වායු සමනය කර ඇත. තරුණ තරුණියන් ද වැඩිහිටි අයද මෙකී මෙට්‍රෝ බස් සේවාවට ආකර්ෂණය වී ඇත. එය ගමනට බිමනට සුව පහසුය. ආණ්ඩුව කළ ඒ දේ කොයි කවුරුත් අගය කරති. නමුත් දැන් දැන් වන විට කාර්යාල ඇරැඹෙන හෝ අවසන්වන වේලාවන්හී මෙම මෙට්‍රෝ බස්රථ යන්නේ ද පොල් පටවාගත් ලෙසය. වැඩිපුර මුදල් ගෙවා තිබුණද, කර මත තවත් මගියෙක් ගියද, වායු සමනයේ සුවය හෝ විඳිමින් යෑමට හැකිවීමත්, සීමිත නැවතුම් ආදියත් නිසා මගීන් අනෙක් ගැහැටක් විඳිමින් හෝ මෙවායෙහි යෑමට පෙලඹී සිටියි. නමුත් කාර්යබහුල නොවන වේලාවල්වල හිස්ව යන මෙට්‍රෝබස් රථ කාලසටහන තරමක් වෙනස් කරමින් මගීන් බහුල වේලාවන්හිදී විනාඩි 15න් 15ට හෝ මෙම බස්රථ යෙදවීමට හැකි නම් අගනේය.


අනෙක් බරපතළම කාරණය වී ඇත්තේ බස්වල ඇතැම් රියැදුරන් සහ කොන්දොස්තරවරු මත්ද්‍රව්‍ය ගෙන බස් රථවල සේවය කිරීමය. වත්මන් රජය බලයට පත්වූ පසු ඊට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කර තිබුණත් රාත්‍රි කාලයේ ධාවනය වන දුර ගමන් බස් රථවල ඇතැමුන් අදටත් බස් එළවන්නේ මත්ද්‍රව්‍ය ගෙන යැයි චෝදනා එල්ල වී ඇත. එවැනි අය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඒ අයට එරෙහිව නීතිමය පියවර ගත් අවස්ථාද වාර්තා වී ඇත.


මේ අතර ඇතැම් බස්වල රියැදුරන්ට නිල ඇඳුමක් නොමැතිකමින් ඇතැම් අවස්ථාවල බස් කොන්දොස්තරවරුන්ගේ වෙස් ගත් හොරුන් මගින්ගෙන් බස් ගාස්තුව පමණක් නොව ඉතිරි මුදල්ද මඩිගසාගෙන බසයෙන් බැසයන සිද්ධීන්ද වාර්තා වී ඇත. පිටකොටුවේ නවතා තිබෙන දුරගමන් බස්වල යන එන අය මේ උගුලේ අසු වූ අවස්ථා රැසක් වාර්තා වී ඇත. එහෙත් කිසිවෙක් මේ අවනඩුවලට එරෙහිව පියවර ගෙන නැත. ඒවායෙන් තැළෙන මගීන් කට පියාගෙනම ඒ පාඩු විඳදරා ගන්නේ වගකිව යුත්තන් මේ වැරැදි නිවැරැදි නොකරන තත්ත්වය හමුවේය.


පුනරුත්ථාපනය කළ යුතු පුද්ගලික බස් රථ


මෙරට මගී බස් රථ සේවාවේ පවතින මෙම ගැටලුවලට විසඳුම් දියයුත්තේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවය. එහෙත් එකී කොමිසමට මෙකී ප්‍රශ්න විසඳීමට නොහැකි වී ඇත.


මේ වන විට බස් ගාස්තු දරා ගැනීමට බැරි තරම් වැඩි වී ඇත. ගන්නා වැටුපෙන් බාගෙට බාගයක්ම වැය කරන්නට මිනිසුන්ට සිද්ධ වී ඇත. පස් දෙනකුගෙන් යුත් පවුලකට දුර ඥාතියෙක්ගේ මළගමකටවත් බසයක නැගී යන්නට බැරිය. එසේ යන්නේ නම් බස් ගාස්තු ලෙස රුපියල් දසදහසක්වත් වැයකරන්නට බලාගෙන ඒ ගමන යාමට සිදුව ඇත. බොහෝ අය අත්‍යවශ්‍ය දෙයකට හැර බස්වල යන්නේ එන්නේ නැත. කොළඹ හා වෙනත් නගරයකට වැඩට හෝ පාසලකට යන එන අය බොහෝ විට දුම්රියෙන් යන්න එන්න පටන්ගෙන ඇත. මේ හේතුව නිසා මගීන්ගෙන් දුම්රිය පිරී ඉතිරී ගොසිනි.


ලංගම බස් රථවලට එල්ල වන චෝදනා අල්පය. ලංගම බස් රථවල ටිකට්පත් නිකුත් කිරීමේ ගැටලු නැත. ඉතිරි මුදල් පිළිබඳ ප්‍රශ්නයේදී නම් ලංගමටත් ඒ චෝදනාව පොදුය. එහෙත් අනෙක් සියලු චෝදනා එල්ල වන්නේ පෞද්ගලික මගී බස්වලටය. ඉතිරි මුදල් මගීන්ට ලබානොදීම, ටිකට් පත් නිකුත් නොකිරීම, මහමග බස් රථ බොහෝ වේලාවක් නවතාගෙන සිටීම, සෙමෙන් ධාවනය, පිරී ඉතිරි යන තරම් මගීන් පටවාගැනීම, කන පැළෙන තරම් ශබ්දයකින් බස්වල ගීත වාදනය කිරීම ආදි කී නොකී චෝදනා එල්ල වී ඇත්තේ පෞද්ගලික බස්වලටය.


මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට බලය හිමි ගමනාගමන කොමිසම් නිහඬය. සිස්ටම් චේන්ජ් කරන්නට 2022 දී මේ රටේ තරුණ තරුණියන් අරගලයක් කළ හැටි මතකය. සිස්ටම් එක කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ පාලනයට නම් එකී අරගලයෙන් තිත තැබූ බව අපි දනිමු. ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ඉතිරි ධුර කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්විය. දැන් රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකය. රටේ ජනතාව සිස්ටම් චේන්ජ් වෙතැයි යළිත් සිතුවත් මේ රටේ පොදු මගී ප්‍රවාහනය දෙස බලන කල නම් එදත් අදත් පොදු මගී ප්‍රවාහනය එක දශමයකින් හෝ යහපත් අතට හැරී නැත. මෙට්‍රෝ බසය දෙස පමණක් බලා ‘සිස්ටම් චේන්ජ්’ එක එය වන්නට ඇතැයි සිතා හිත හදාගන්නවා හැර වෙන කරන්නට දෙයක් අපට නැත. නමුත් මෙට්‍රෝ බස් යනු සොච්චම් විසඳුමක් පමණි. මගී බස් රථ ප්‍රවාහනයේ ‘මහා පැන’ තවමත් එලෙසමය.

 

More News..