ආදරය සොයන තනිකඩයන්ට ෆින්ලන්තය දොර අරී
07 November 2026 | රුක්ලන්ති පෙරේරා
ආදරය සොයන තනිකඩයන්ට ෆින්ලන්තය දොර අරී
07 November 2026 | රුක්ලන්ති පෙරේරා
ෆින්ලන්තය සැලකෙන්නේ ලොව වඩාත්ම ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටක් ලෙසය. පිට පිටම නවවන වරටත් ලොව ප්‍රීතිමත්ම රට ලෙස අභිනවයෙන් තේරී පත්වූ ෆින්ලන්තය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන තවත් අලුත්ම වැඩකට මේ දිනවල අතගසා තිබේ. ඒ ලොව සෑම කොනකම සිටින තනිකඩයන් අතරින් තෝරාගත් දහසය දෙනකු වෙනුවෙන් සිය රටේ වියදමින් දින හතරක සංචාරයක් ලබා දීමේ අපූරු වැඩපිළිවෙළකි. ‘ෆිනිෂ් ඩිනර් ඩේට්’ කියා හැඳින්වෙන මෙම අපූරු දින හතරක සංචාරයට එක්වන වාසනාවන්තයන් දහසයදෙනාගේ ගුවන් ටිකට්පත්, සංචාර හා ගමන්, ආහාර හා නවාතැන් යනාදි සම්පූර්ණ වියදම දරනු ඇත්තේ ෆින්ලන්තය විසිනි.
‘විසිට් ෆින්ලන්ඩ්’ කියා හැඳින්වෙන ෆින්ලන්තයේ සංචාරක මණ්ඩලයේ අනුග්රාහයෙන් ක්‍රියාත්මක වෙන මෙම කදිම සංචාරය වූ කලී ෆින්ලන්තයේ පිහිටි සුන්දර ස්ථාන, ගමනාන්ත නැරැඹීමට මෙන්ම ආගන්තුක සත්කාරයට ලැදි මිත්‍රශීලී ෆින්ලන්ත දේශිය ජනතාව හමුව ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, ඒ සියල්ලටමත් වඩා ෆින්ලන්තයටම ආවේණික වූ රසවත් ආහාර පාන රසවිඳීමටත්, කිසිදා අමතක නොවන අපූරු මතක ගොන්නක් නිර්මාණය කරගැනීමටත් ලැබෙන අමිල අවස්ථාවකි.
ෆින්ලන්ත ජාතිකයකු නොවන ලොව ඕනෑම රටක වෙසෙන ඕනෑම ජාතියකට හෝ ආගමකට අයත් පුද්ගලයකුට මෙම චාරිකාව සඳහා අයැදුම් කළ හැකිය. නමුත් ඒ ඔහු හෝ ඇය වයස අවුරුදු දහඅටට වැඩි තවමත් තනිකඩ අවිවාහකයකු වන්නේ නම් පමණි. මෙම කොන්දේසිය නිසා මෙන්ම මෙම සමස්ත චාරිකාවම ‘බ්ලයින්ඩ් ඩේට්’ එසේත් නැතිනම් පූර්ව දැන හැඳුනුම්කමකින් තොරව සිදුවන ආදර හමුවක් ලෙස හඳුන්වා තිබීම නිසාත් ෆින්ලන්ත චාරිකාව වූ කලී තවමත් ප්‍රේමයේ රස නොවිඳි තනිකඩයන්ට ආදරවන්තයකු හෝ ආදරවන්තියක සොයාගැනීමට ලැබෙන ආදර චාරිකාවක් බවට සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ඔස්සේ රාවයක් පැතිර තිබේ.
එසේ වුවද සංචාරයේ දී බුක්ති විඳීමට ලැබෙන භෝජන සංග්‍රහ සියල්ල සංවිධානයකොට තිබෙන්නේ එකම කණ්ඩායමක් ලෙස ආහාර ගැනීමට මිස යුවළ ලෙස ආහාර ගැනීමට නොවේ. තවද ගැළපෙන සහකරුවන් හෝ සහකාරියන් සොයා දෙන කිසිදු ආකාරයක සේවයක් මෙම සංචාරයේ දී සැපයෙන්නේ ද නැත. ෆින්ලන්ත සංචාරක මණ්ඩලය පවසන්නේ සහභාගිවන්නන්ට මෙම ගමනේ දී ආදරණීය හමුවීමක් සිදුවනු ඇති බවට තමන් වගවන්නේ ද නැති බවකි. විදේශිකයන් වෙනුවෙන් මෙවැනි සංචාරයක් සංවිධානය කිරීමෙහිලා ෆින්ලන්ත සංචාර මණ්ඩලයේ ප්‍රධානම අරමුණ වී තිබෙන්නේ එරටට ආවේණික ආහාර හා රස මසවුලු වර්ග ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තරයට ගෙනයෑමයි.
වනාන්තර, පිරිසුදු වාතාශ්‍රය, නිල්දියෙන් පිරීගත් විල් හා විශේෂයෙන්ම උත්තරාලෝක එළි නැරැඹීම සඳහා කියාපුම රටක් ලෙස ෆින්ලන්තය විදෙස් සංචාරකයන් අතර ප්‍රකට වූවකි. ඒ නිසාම ලොව වටා කරක් ගසන සංචාරකයන්ගේ ගමනාන්ත ලැයිස්තුවේ එක් අනිවාර්ය ගමනාන්තයක් බවට ෆින්ලන්තය පත්ව තිබේ. නමුත් ෆින්ලන්තයටම ආවේණික වූ ආහාර පාන වර්ග තවමත් ගෝලීය ප්‍රජාවට රහසක්ව ඇති බවයි ෆින්ලන්ත සංචාරක මණ්ඩලය පවසන්නේ. එවැනි ආහාර වර්ග ජාත්‍යන්තරයට ගෙනයෑමේ වෑයමක් ලෙස මෙම සංචාරයට එක්වන තෝරාගත් වාසනාවන්තයන් දහසයදෙනාට ෆින්ලන්තයේ නම ගිය ප්‍රකටම සූපවේදීන් පිරිසකගේ දෑත්වලින් පිළියෙල කරන ලද ප්‍රණීත ආහාර වට්ටෝරු හතරක් රසවිඳීමට ලබාදීමට නියමිතය.
එය හුදෙක් තවත් එක් භෝජන සංග්‍රහයක් වනවා වෙනුවට ෆින්ලන්තයටම ආවේණික වූ රසකාරක, ආහාර හා බැඳුණු සම්ප්‍රදායන්, ඒවා සම්භවය වූ පෙදෙස්වල ස්වභාවික සෞන්දර්ය සංකලනය වූ ගවේෂණාත්මක ආහාර චාරිකාවක් බවට පත්කිරීම ෆින්ලන්ත සංචාරක මණ්ඩලයේ අරමුණයි. ඒ අනුව ප්‍රකටම සූපවේදින්ගේ අතින් පිළියෙල වූ, හෙල්සින්කි හා ලේක්ලන්ඩ් නමැති නගරවලට ආවේණික වූ බෙරිවර්ග හා නිවුඩු සහිත ධාන්යවර්ගවලින් සැකසුණු ‘ලොහිකෙයිටෝ’ හා ‘කාජලන්පිරිකා’ වැනි රසමසවුලු ද ඇතුළත් ආහාර වට්ටෝරු හතරක් සංචාරයට එක්වන වාසනාවන්තයන් පිරිසට පිරිනැමෙනු ඇත. මෙම සමස්ත ව්‍යාපෘතියම ‘ෆිනිෂ් ඩිනර් ඩේට්’ කියා නම්කොට ඇත්තේද එකී අරමුණ අරුත් ගන්වමිනි.
ලබන 2027 වසරේ පෙබරවාරි 9 – 19 දක්වා කාලයේ දී සූදානම් කර තිබෙන මෙම සිව්දින සංචාරයේ දී තෝරාගත් තනිකඩ විදෙස් වාසනාවන්තයන් දහසයදෙනාට හෙල්සින්කි හෝ ටැම්පෙරේ යන නගරවල සුන්දර අසිරිය විඳිමින්, එළිමහන් විනෝද ක්‍රියාකාරකම්වල නියැළෙමින්, සංස්කෘතික අංග හා රසවත් ආහාර පාන බුක්ති විඳීමට අවස්ථාව සැලසෙනු ඇත.
ආදරය සොයායන ෆින්ලන්ත සංචාරය සඳහා එක්වීමට කැමති තනිකඩයන්ට ඒ සඳහා කළ යුතු වන්නේ එකම දෙයකි. ඒ ‘ඔබ ආදර හමුවක් සඳහා පැවැත්වෙන රාත්‍රි භෝජන සංග්‍රහයකදි පිරිනමන ආහාර වර්ග මොනවාද?’ යන සරල ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඉංග්‍රීසි බසින් වීඩියෝවක් නිර්මාණයකොට එය ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් හෝ යුටියුබ් යන සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීමය. එය පළකළ යුත්තේ #FinnishDinnerDate යන හෑෂ්ටැගය සහිතව ෆින්ලන්ත සංචාරක මණ්ඩලයේ ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් හෝ යුටියුබ් ගිණුම් ද සම්බන්ධ (ටැග්) කරමිනි. එලෙස සම්බන්ධ කිරීමේ දී ඉන්ස්ටර්ග්‍රෑම් සඳහා @ourfinland, ටික්ටොක් සඳහා @visitfinland.com හා යූටියුබ් සඳහා @VisitFinland on YouTube යන ෆින්ලන්ත සංචාරක මණ්ඩලයට අයත් ගිණුම් ලිපිනයන් භාවිත කළ හැකිය.
එසේසිය නිර්මාණය සයිබර් අවකාශයේ පළ කිරීමෙන් පසු ෆින්ලන්ත සංචාරක මණ්ඩලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම්පත පුරවා තමාගේ වීඩියෝ පටයේ සබැඳිය ද ඒ හා ඇමිණිය යුතුය. අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන්නේ නොවැම්බර් 10 වැනිදාය. ජයග්‍රාහක වාසනාවන්තයන් ප්‍රකාශයට පත්කිරීම දෙසැම්බර් 1 වැනිදා සිදුවනු ඇත්තේ එක් එක් ජයග්රාහකයාගේ විද්‍යුත් තැපෑලට යවන පණිවුඩයකිනි. පැය හතළිස්අටක් තුළ ඊට ප්‍රතිචාර නොදැක්වුවහොත් අවස්ථාව ගිලිහි යන බැවින් අයැදුම්කරුවන් තමාගේ විද්‍යුත් තැපෑල් පණිවුඩ ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකිරීමේ දී ඔවුන්ගේ වීඩියෝ පටයේ නිර්මාණශීලිත්වය, අව්‍යාජත්වය, අනන්යත්වය යනාදි කරුණු සැලකිල්ලට ගනු ඇත. හැකිතාක් ස්වභාවික පසුබිම් දර්ශන හා තමාගේම හඬින් මෙම වීඩියෝපට නිර්මාණය කරන ලෙසට ෆින්ලන්ත සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය අයැදුම්කරුවන් දිරිමත් කරන්නෝය. ඉතින් ඔබත් තවමත් තනිකඩ නම්, සංචාරයට ප්‍රිය නම් මේ ඔබේ දෛවය වෙනස් කරන අවස්ථාව වන්නට බැරි නැත.

