brand logo
logo
බැකෝ සමන්ගේ මව මරා දැමීම සමාජයට දෙන පණිවුඩය !

බැකෝ සමන්ගේ මව මරා දැමීම සමාජයට දෙන පණිවුඩය !

14 August 2026


සංවිධානාත්මක අපරාධ කල්ලිවල සෙල්ලම් රටේ ජීවත් වන නිරායුධ පුරවැසියන්ගේ පැවැත්ම දැඩි අනාරක්ෂිත තැනකට ඇද දමා තිබෙන බව පසුගිය කාලයේ වර්ධනය වූ ඝාතනවලින් පැහැදිලි වෙයි. කෙතරම් නම් බිහිසුණු ඇදවැටීමකට සමාජය පත්ව තිබේද යන්න ම්ලේච්ඡ අපරාධ කල්ලියක් ප්‍රතිවිරුද්ධ කල්ලියකින් පළිගැනීම සඳහා එකී කල්ලියේ සාමාජිකයකුගේ මව වෙඩි තබා මරා දැමීමෙන් තවත් තහවුරු වෙයි. බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ මව එසේ මිද්දෙණිය ප්‍රදේශයේදී මරා දමා තිබේ. පාතාල කල්ලි සාමාජිකයකුගේ හෝ මුනිවරයකුගේ වේවා මව මවමය. ඔවුන් නියෝජනය කරනුයේ උත්තරීතර මාතෘත්වයයි. අපේ සමාජ සංස්කෘතික පදනම ගොඩනැගී තිබෙන්නේ එකී මාතෘත්වයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දෙමිනි. අප හුරුකර තිබෙන්නේ මවට පියාට දෙවියන්ට බුදුන්ට සේ සලකා ගරු කිරීමටය. ඒ අනුව මාතෘ පීතෘ සංකල්පය ඉතා ඉහළ තැනක තබා තිබෙන අයුරු අපට දැකිය හැකිය. පාතාල ගිනි කෙළිවලට මැදිව වෙඩි වදින්නේ ඒ මාතෘත්වයටයි. මාතෘත්වයට වෙඩි වදින, පහර වදින සමාජයක ඕනෑම කෙනකුට එරෙහිව වෙඩි වැදිය හැකිය. පහර වැදිය හැකිය. එවැනි සමාජයක ඕනෑම කෙනකුගේ ජීවිතය අවදානමට වැටිය හැකිය. එනිසා පාතාල කල්ලි සාමාජිකයකුගේ මවක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි අපට සමාජයක් හැටියට අතපිස දමාගෙන පැත්තකට විය නොහැකිය. එය හුදෙක් තවත් ඝාතනයක් යැයි සලකා නොසලකා හැරිය නොහැකිය.


එකිනෙකාට එරෙහිව ගැටුම්, අවි එසවීම් මිනිස් සමාජයේ මුල සිට දැකිය හැකිය. එහෙත් එවැනි ගැටුම් වැටුම්, රණකෙළි අතරේ වුවද යම්කිසි ආචාර ධර්මයක්, ප්‍රමිතියක් පවත්වා ගැනීමට මිනිසුන් උත්සාහ කර තිබේ. ලංකාවේ පාතාල ගැටුමෙන් පැහැදිලි වන්නේ ගැටුමකදී තිබිය යුතු අවම යුක්තිය, සාධාරණත්වය පවා නොතකන ඉතා බිහිසුණු තැනකට එකී ගැටුම් වර්ධනය වී තිබෙන බවය. වැද්දන් වැනි කැලෑ ආශ්‍රිතව ජීවත් වූ ලෝකයේ සමහර ගෝත්‍ර කැලයේ දඩයම් කිරීමේදී ගැබ්බර මුව දෙනුන් හෝ සමහර විට පැටියන්ට කිරි දෙන සතුන් ඝාතනය නොකළ බව අප අසා තිබේ. එසේ වුවත් ශිෂ්ට සම්පන්න බව ගැන ඉහළින් කතා කරන සමාජයක එවැනි අවම සදාචාරය ද නොතකා හැර තිබේ.


අප දන්නා කියන ඉතිහාසයේ ඉතාම බිහිසුණු ඝාතනවලින්, සමූහ මිනී මැරීම්වලින් සමාජය සලිත කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් විසිනි. එහෙත් ඔහු වුවද ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ වෙනත් දේශපාලන චරිත ඉලක්ක කළ ද ඔවුන්ගේ මව්පියන් දරුවන් ඉලක්ක කළ බවක් අප දන්නේ නැත. ඝාතනය කළ යුතු පුද්ගලයා ඉලක්ක කළා විනා එකී පුද්ගලයාගේ මව්පියන් ඉලක්ක කරන තැනකට යොමු වූයේ නැත. එපමණක් නොව ප්‍රභාකරන්ගේ මව සහ පියා ද ඉලක්ක කර ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන් යොමු වූයේද නැත. එහෙත් ඒ කිසිදු අවම සදාචාරයක් හෝ නොතකා පාතාල කල්ලි සාමාජිකයන් සිය ගොදුරුවලට එරෙහිව අවි අමෝරාගෙන තිබේ. අනෙක් අතට ඕනෑම වේලාවක ඉලක්කය සමීපයටම පැමිණ කිසිදු බාධාවකින් තොරව එය ඩැහැගැනීමට තරම් පාතාල කණ්ඩායම් ශක්තිමත් වී තිබේ. ඒ ආකාරයට ඔවුන් ශක්තිමත් වී තිබෙන්නේ ඔවුන්ගේ තොරතුරු ජාලය, ඔත්තු සේවාව ශක්තිමත් වී තිබෙන හෙයිනි. වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ දා සිට අප දුටුවේ විදෙස් ගතව සිටින පාතාල කල්ලි සාමාජිකයන්ද බෙල්ලෙන් අල්ලාගෙන ලංකාවට රැගෙන ආ හැටිය. එමගින් යම් පමණකට හෝ පාතාල කල්ලි සාමාජිකයන්ගේ සෙල්ලම් නතර වේ යැයි අපි කල්පනා කළෙමු. එසේ වුවද ඒ සෙල්ලම් පෙරටත් වඩා හොඳින් කරන හැටියක් පමණක් පෙනේ. පාතාල කල්ලි සාමාජිකයන්ට ඕනෑම තැනකට පැමිණ තම ඉලක්කය ගැනීමට හැකිවීමෙන් පෙනෙන්නේ අප ජීවත්වන සමාජය වැටී තිබෙන අනාරක්ෂිතභාවයේ තරමය. මේ වර්ධනය වන ඝාතන රැල්ල මේ ආකාරයට ඉදිරියට ගමන් කළහොත් කිරි දරුවන්ද ගොදුරු කරගන්නා තැනට එය පත්විය හැකිය. මවක් ඉලක්ක කළ පාතාල වෙඩික්කරුවාට දරුවකු ඉලක්ක කර ගැනීම එතරම් දෙයක් නොවේ.


සමාජය වැටී තිබෙන මේ අනාරක්ෂිත තැන පිළිබඳ අවබෝධයකින් ආණ්ඩුව කටයුතු කරන්නේ දැයි යන ගැටලුව අපට ඇති වේ. වහා විසඳා ගත යුතු මෙකී ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරනවා දැයි පුරවැසියා විමසිය යුතුය. පාර්ලිමේන්තුවේ කතාකරන්නේ පුරවැසියාගේ ආරක්ෂාවට බලපාන මෙවැනි ගැටලු ගැන නොව 22 වැනි සංශෝධනය වැනි තවදුරටත් බලය තහවුරු කර ගැනීමේ නෛතික වෑයම් පිළිබඳවය. විපක්ෂයද මේවා පිළිබඳ නිහඬය. කැලෑ නීතිය ඉතා ශක්තිමත් වෙමින් තිබේ. 88, 89 කාලයේදී ද අප දුටුවේ මෙවැනි බිහිසුණු තැනකට ඇදවැටුණු සමාජයකි. එකලද වෙඩික්කරුවෝ මව්වරුන්, දරුවන්, හිමිවරුන් ඉලක්ක කළහ. ගෙදරටම පැමිණ ඉලක්ක ගත්හ. එකල ඕනෑම අවස්ථාවක ජීවිතයක් අහිමිවීමේ අවදානම තිබිණි. දැනුදු පාතාල කල්ලි ගැටුම් හේතුවෙන් අපට එළියට බැස යාම පමණක් නොව නිවසේ රැඳී සිටීම ද අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවේ වගකීම මේ සියල්ලෙන් ප්‍රශ්න කරන බව අවධාරණය කළ යුතුය.

 

More News..