මෙරට ධීවර හා කර්මාන්තය නවීකරණයට කොරියාවේ සහාය
05 November 2026
මෙරට ධීවර හා කර්මාන්තය නවීකරණයට කොරියාවේ සහාය
05 November 2026
මෙරට ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සඳහා කොරියානු රජයේ පූර්ණ සහාය ලබාදීමට එරට පාර්ශ්වය මූලික එකඟතාව පළ කර තිබේ.
දකුණු කොරියාවේ බූසාන් නුවර පැවති 2026 සාගර හා ධීවර කටයුතු පිළිබඳ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා සමුළුවට සහභාගී වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා මේ බව සඳහන් කළේය.
කොරියානු සමුද්‍රීය ආයතනය (KMI) සංවිධානය කළ මෙම සමුළුව සහ BADA වැඩසටහන යටතේ රටවල් 11ක් නියෝජනය කරමින් නිලධාරීන් හා විශේෂඥයන් ඇතුළු 100කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
සමුළුවට සමගාමීව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සහ ධීවර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සමුද්‍රීය ආයෝජන ලබාගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එහිදී සමුද්‍රීය කසළ අවම කරමින් මිරිස්ස වරාය ධීවර හා සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනකට කොරියානු පාර්ශ්වය මූලික එකඟතාව පළ කර ඇත.
එමෙන්ම 2028 වසර වන විට ධීවර ක්ෂේත්රයේ පුරෝකථන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව, සමුද්‍රීය ජෛව ගවේෂණය සහ නීල ජෛව තාක්ෂණය යන ක්ෂේත්රවල ආයෝජනය කරන ලෙස කොරියානු ආයෝජකයන්ට ආරාධනා කළ බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
සමුළුවේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙන්ම KMI සහ KIOST ආයතන සමඟ ධීවර අමාත්‍යාංශය පවත්වාගෙන යන සම්බන්ධතාද සිහිපත් කර තිබේ.
එම සහයෝගිතාවන් හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ධීවර ක්ෂේත්රය ආශ්රිත නව රැකියා අවස්ථා උදා වී ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.
සමුද්‍රීය තාක්ෂණය සහ වෙරළබඩ ප්‍රජාවගේ අවශ්‍යතා සම්බන්ධ කරමින් අනාගත සහයෝගිතා අවස්ථා ඇති කිරීම සඳහා මෙම සමුළුව දායක වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

