brand logo
logo
ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලා දැවැන්ත විරෝධතා පාගමනක්

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි ඉල්ලා දැවැන්ත විරෝධතා පාගමනක්

05 October 2026


සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ PTI පාක්ෂිකයින් දහස් ගණනක් අගනුවර වන ඉස්ලාමාබාද් වෙත දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ.


ඉස්ලාමාබාද් නුවර සිට කිලෝමීටර් 275ක් පමණ දුරින් පිහිටි ලක්කි මර්වාට් නගරයෙන් ඊයේ (05) මෙම විරෝධතාව ආරම්භ කර කෙරිණි.


මෙම පාගමන පසුගිය සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, රජය සහ PTI පක්ෂය අතර සාකච්ඡා සඳහා ඉඩ ලබාදෙමින් එය කල් දමන ලදී.


කෙසේ වෙතත්, එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා විරෝධතාකරුවන් නැවත මෙය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.


PTI පක්ෂය පවසන්නේ ඉම්රාන් ඛාන් හමුවී දේශපාලන කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව දීම සහ ඔහුට වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම යන ඉල්ලීම් රජය ප්‍රතික්ෂේප කිරීම නිසා සාකච්ඡා බිඳ වැටුණු බවය.


73 හැවිරිදි වියෙහි පසුවන ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවුලේ අය දැඩි කනස්සල්ල පළ කරන අතර, බන්ධනාගාර බලධාරීන් නිසි වේලාවට සුදුසු ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් ඔහුගේ දකුණු ඇසේ පෙනීම බොහෝ දුරට අහිමි වී ඇති බවට ද ඔවුහු චෝදනා කරති.


මේ අතර ඔහුගේ සොහොයුරිය වන අලීමා ඛානුම් ද මහජනතාව කුපිත කරමින් විරෝධතා සංවිධානය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබිය.


විරෝධතාකරුවන් අගනුවරට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉස්ලාමාබාද් බලධාරීන් ප්‍රධාන ප්‍රවේශ මාර්ග නැව් කන්ටේනර් යොදා සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවද සඳහන්.


2018 සිට 2022 දක්වා අගමැති ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්, 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටී.


රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම ඇතුළු නඩු 100කට වැඩි සංඛ්‍යාවකට ඔහු මුහුණ දී සිටින අතර, දූෂණ චෝදනා මත ඔහුට වසර 14ක සිරදඬුවමක් ද නියම වී ඇත.


කෙසේ වෙතත්, මෙම සියලු චෝදනා දේශපාලන පළිගැනීම් බව ඉම්රාන් ඛාන් සහ ඔහුගේ අනුගාමිකයෝ සඳහන් කරති

 

More News..