brand logo
logo
වේයන්ගොඩ නිධන් වළේ දැන් දිය බුං ගසමු

වේයන්ගොඩ නිධන් වළේ දැන් දිය බුං ගසමු

26 November 2024

අලුත් ආණ්ඩුවක් පත්වීම පිළිබඳ ජනතාවගේ කතාබහ හැරුණු විට ඊළඟට බෙහෙවින් කතාබහට ලක් වූයේ වේයන්ගොඩ නිධානය පිළිබඳවය. සමහරුන් නම් සඳහන් කළේ ධාර්මික පාලනයක් රටේ ඇතිවී තිබෙන හෙයින් එහි අනුහසින් නිධන් පහළ වන්නට පටන් ගෙන තිබෙන බවය. හුදී ජනමුළු බොහෝ අපේක්ෂා ඇතිකර ගත්හ. රට වැටී තිබෙන මහා ණය උගුලෙන් ගොඩයාමටත් හොඳින් කාබී ප්‍රීති ප්‍රමෝදයෙන් රට වැසියන්ට ජීවත්විය හැකි කේතුමතී කාල පරිච්ඡේදයක් උදාවනු ඇති බවත් අඳ පුහුදුනෝ සිහින ලෝකවල සැරි සැරූහ. එහෙත් අවසානයේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ද පැමිණ හෑරීමට පටන් ගත්තද කළුගල් මතුව වතුර වළක් ඉතිරි විය. එමගින් අධිවේග රක්ෂිතයටද හානියක් වී ඇතැයි දැනගන්නට ලැබේ. දැන් ඉතිරිව තිබෙන්නේ ඒ වතුර වළේ පැන සියලුම ශීර්ෂාබාධ සුවවන තෙක් දියකෙළීමය. දිය බුං ගැසීමය. සමහර රෝග දියේ බැසීමෙන් සුව වන බව වෙද්දු සඳහන් කරති. එහෙත් මේ රටේ මිනිස්සුන්ට වැලඳී තිබෙන නිධාන උමතුව නම් එලෙස පහසුවෙන් සුව වන ව්‍යාධියක් නොවේ. දැනගන්නට ලැබෙන පරිදි මෙරට දින දෙකකට වරක් නිධන් හෑරිල්ලක් කෙරේ.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ ආරංචි මාර්ග අනුව පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ තිබේ. ඒ සියල්ල ගැසට්ටු ගත කර නැත. දහඅට වැනි සියවසේ රචනා කර තිබෙන බව විද්වතුන් සඳහන් කරන නිධන් වදුල නමැති ලියවිලි කිසිදු විද්‍යාත්මක පදනමක් නැති ප්‍රබන්ධ බව සනාථ කර තිබේ. නිධන් හොරුන්ගේ අත්පොත නිධන් වදුල නමින් සඳහන් ප්‍රබන්ධ ඇතුළත් ලියවිලිය. අපේ පැරණි රජ, මැති, ඇමැතිවරු බුදු පිළිමයක් සාදා ඒ සමග එකල වටිනාකමක් තිබුණු යම් යම් ද්‍රව්‍ය තැන්පත් කළහ. ඒවායේ තිබෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පමණි. එහෙත් ද්‍රව්‍යවල කිසිදු වාණිජ වටිනාකමක් නොමැත. එවැනි වටිනාකමක් තිබෙනවා නම් මේ රටේ පොහොසත්ම දෙපාර්තමේන්තුව විය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ය. එසේම මෙරට මහා භාණ්ඩාගාරය ද ලෝකයේ පොහොසත්ම මහා භාණ්ඩාගාරය විය යුතුය. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මේ රටේ මහා භාණ්ඩාගාරයේ තරම අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමහර කැණීම් කර ගැනීමටවත් මුදල් සොයා ගත නොහැකිය. බොහෝ විට කැණීම්වලට මුදල් ලැබෙන්නේ විවිධ විදෙස් ව්‍යාපෘතීන් මගිනි. ඒ නිසා වාණිජ අරමුණුවලින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන විනාශ කිරීම ජාතික අපරාධයකි. ඔවුන් කරනුයේ උපන් නූපන් පරපුරට අයිති ජාතියේ උරුමය සහ ඉතිහාසය විනාශ කිරීමය. මුතු මැණික් අපේක්ෂාවෙන් පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන ජාතික අපරාධකරුවෝ ඒවා නොමැති විට බුදුපිළිම ආදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවල් විනාශ කර දමා යති. යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ඔවුහු සියල්ල විනාශ කරගෙන යති.


බොහෝ මුග්ධයන් නිධන් තිබෙන බව අනුමාන කරන්නේ ගල් පර්වතවල තිබෙන විවිධ සටහන් දෙස බැලීමෙනි. ඒ සටහන් කාලයක් තිස්සේ විවිධ විපර්යාසයන්ට ලක්වීම නිසා ඇති වූ ඒවාය. එසේ නැතිව ඒවා මිනිසුන් සලකුණු කළ ලකුණු නොවේ. හැම තැනම නිධන් හාරනවා යැයි සඳහන් කළ ද නිධන් ලැබුණු අය හෝ එමගින් ගොඩ ගිය අය නම් හමු නොවෙති. එහෙත් පුරාවිද්‍යාත්මක ස්ථාන විනාස කර ඓතිහාසික වටිනාකමක් සහිත භාණ්ඩ ආදිය සොරකම් කරන ජාවාරම ලෝකය පුරා තිබෙන අතර එවැනි සොරු ලංකාවේ ද සිටිති. මේ හෑරීමේ සෙල්ලම මුලින්ම පටන් ගත්තේ පෘතුගීසීන්ය. ඉන්පසුව ලන්දේසීන්ය. අනතුරුව ඉංග්‍රීසීන්ය. ඉංග්‍රීසීහු පුරාවිද්‍යාත්මක කැණීම් නාමයෙන් කළ හැරීම්වලින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භාණ්ඩ රැසක් නැව් ගත කළහ. ඒවා එංගලන්තයට යැවූහ. තවමත් ඒ බොහෝ භාණ්ඩ එංගලන්තයේය. තවත් ඒවා නෙදර්ලන්තයේය. ඒවා අපට හිමිවුවද යළි ලබා ගැනීමට හැකියාවක් නැත.


කොහොම නමුදු අහිමිවූ දේවල් ලබා ගැනීම කෙසේ වෙතත් දැනට රටේ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවල් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉතා විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඒ අතර නිධන් පිළිබඳ තිබෙන මිථ්‍යාවන් දුරුකිරීම සඳහා ජන සමාජය දැනුම්වත් කළ යුතුය. විශේෂයෙන් කනගාටුවට කරුණ නම් මෙකී ප්‍රෝඩාවන්ට රැවටී ගිහියන් ද යොදාගෙන ශ්‍රමණ ප්‍රතිරූපකයන් නිධන් හෑරීමට මුල් තැන ගැනීමය. බොහෝ සිදුවීම්වල භික්ෂු ප්‍රතිරූපකයෝ සිටිති. වේයන්ගොඩ නිධාන කතාවේ ද එවැන්නෙක් සිටියි. මේ පිළිබඳ මහා නායක ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් වගකිවයුතු නායක භික්ෂුන් වහන්සේලා භික්ෂුන් දැනුම්වත් කිරීමට පියවර ගත යුත්තෝය. මෙවැනි මිථ්‍යාවන්ගෙන් සහ පුරාවිද්‍යාත්මක විනාශයන්ගෙන් රටවැසියන් බේරාගැනීමේ වගකීම තිබෙන අයම විනාශයට මුල්වීම ඛේදාන්තයක් නොවේද. මේ නිධන් හෑරීම් පිටුපස සිටින බොහෝ දෙනා යමක් කමක් තිබෙන ධනවත් උදවියයි. සමහර දේශපාලනඥයෝ ද මේවා පිටුපස සිටිති. ඔවුන් පිළිබඳ සොයා ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය. නීතිය ක්‍රියාත්මක කරවිය යුතුය. එවැනි ක්‍රියාමාර්ග මගින් පමණක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ආරක්ෂා කරගත හැකිය.

 

More News..