brand logo
logo
කාන්තාවන් 06දෙනෙකු ඇතුළු 229කට වනසත්ත්ව නියාමක පත්වීම්

කාන්තාවන් 06දෙනෙකු ඇතුළු 229කට වනසත්ත්ව නියාමක පත්වීම්

23 October 2026

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම සහ රට තුළ පවතින අලි-මිනිස් ගැටුම පාලනය කිරීම ඉලක්ක කරගනිමින්, III වන ශ්‍රේණියේ වනසත්ත්ව නියාමක නිලධාරීන් 229 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.


පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැති මෙම උත්සවයේදී, තරග විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ මාලාවක් ඔස්සේ ඉහළම සුදුසුකම් සපුරාගත් පිරිමි නිලධාරීන් 223 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 06දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලබා දෙන ලදී.


වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ නීතිමය බලතල ක්‍රියාත්මක වන මූලික කණිෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරී බලකාය වන්නේ මෙම වනසත්ත්ව නියාමකවරුන් ය.


ගම්වදින වනඅලි නැවත වනාන්තර වෙත පලවා හැරීම, අලි වැට නඩත්තුව හා පාලනය, සහ ගැටුම් පවතින ප්‍රදේශවල ජනජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ පෙරමුණ ගැනීම මොවුන් වෙත පැවරෙන ප්‍රධාන වගකීම් අතර වේ. එමෙන්ම රක්ෂිත ප්‍රදේශ තුළ සිදුකෙරෙන අනවසර ඇතුළුවීම්, වනසතුන් දඩයම් කිරීම, මදු සහ විදුලි රැහැන් ඇටවීම් වැටලීම මෙන්ම ජෛව සම්පත් කොල්ලකෑම් මැඩපැවැත්වීම ද මෙම පිරිස හරහා සිදු වේ.


මීට අමතරව ජාතික වනෝද්‍යාන, අභයභූමි සහ ස්වභාවික රක්ෂිත ආවරණය වන පරිදි පැය 24 පුරා මුර සංචාරවල යෙදෙමින් වනජීවී වාසස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, විවිධ අනතුරුවලට හෝ උගුල්වලට හසුවන වනසතුන් ආරක්ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා පශු වෛද්‍ය ඒකක වෙත යොමු කිරීමටත් මෙම නිලධාරීන් කටයුතු කරයි.


විශේෂයෙන්ම, අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ග්‍රාමීය ජනතාව පීඩාකාරී අවස්ථාවලදී පසුවන විට, පීඩාවට පත් ප්‍රජාව සමඟ වඩාත් සංවේදීව සහ ඉවසීමෙන් කටයුතු කරමින් තත්ත්වය සමනය කිරීමටත්, ගැටුම් වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමටත් පත්වීම් ලැබූ කාන්තා නිලධාරිනියන්ගේ දායකත්වය අතිශය ඵලදායී වනු ඇති බව සඳහන්.

පත්වීම් ලැබූ සියලුම නිලධාරීන් මාස හයක විධිමත් පූර්ණ නේවාසික පුහුණු කාලසීමාවකට යටත් කෙරේ.


ඒ අනුව රන්දෙණිගල, රිටිගල, මාදුරුඔය සහ ගිරිතලේ යන වනජීවී පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් වනජීවී කළමනාකරණය, නීතිය ක්‍රියාත්මක කිරීම, ප්‍රායෝගික ක්ෂේත්‍ර කුසලතා සහ ආකල්ප සංවර්ධනය පිළිබඳ පූර්ණ පුහුණුවක් ඔවුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.


මෙම පුහුණුව සාර්ථකව නිම කරන නිලධාරීන් ස්ථිර සේවයට අනුයුක්ත කෙරෙන අතර, දිවයින පුරා පවතින දැඩි අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ විශේෂ මෙහෙයුම් සහ වන සම්පත් ආරක්ෂා කිරීමේ සක්‍රීය රාජකාරි සඳහා ඔවුන් ක්ෂේත්‍රගත කිරීමට නියමිතය.

 

More News..