ඡන්ද බලය තියෙන අයගෙන් ප්රතිචාර බලාපොරොත්තු වෙනවා
27 October 2026 | අරුණි ජයසේකර
ඡන්ද බලය තියෙන අයගෙන් ප්රතිචාර බලාපොරොත්තු වෙනවා
27 October 2026 | අරුණි ජයසේකර
සිනමාවේ මෙන්ම පුංචි තිරයේත් එකෙනෙකට වෙනස් චරිත රඟපාමින් ප්රේක්ෂක ආදරය නොඅඩුව ලබන ඇය මෑත කාලයේ බිහි වූ දක්ෂ චරිතාංග රංගවේදිනියකි. නමින් තීලක්ෂිණී රත්නායක වන ඇය මේ දිනවල ඩිංගා සිනමාපටය තුළින් ඔබ හමුවට පැමිණෙනවා. එම සිනමාපටය සහ ඇයගේ කලාදිවියේ නවතම තොරතුරු පිළිබඳ දැන ගැනීමට පිනිපලස වෙත කැඳවාගත්තා.
මෙම කතා බහ ආරම්භයේදීම. ඇය ඩිංගා සිනමාපටය පිළිබඳ පැවසුවා.
ඩිංගා චිත්රපටය කියන්නේ ඩිලංග රංගනාත් අධ්යක්ෂණය කළ පළමු චිත්රපටය. මෙම චිත්රපටය රූ ගත කළේ 2018 වසරේදී. කණ්ඩායමක් ලෙස එකතුවෙලා කළ නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ චිත්රපටය වෙනුවෙන් මුළු චිත්රපට කණ්ඩායමම අසීමිත කැප කිරීමක් කළා. කතා විලාසය හැසිරීම අනෙක් නිර්මාණවලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒවගේම විහාරමහාදේවී පාර්ක් එක සහ ඒ අවට පාරවල් රැසක් මේ සිනමා පටයේ රූ ගත කිරීම් සඳහා යොදාගත්තා.
මෙම චිත්රපටයේ ඇඳුම් නිර්මාණ තුළ දක්නට ලැබෙන වෙනස්කම් ගැන ද පවසනවා.
මෙම චිත්රපටයයේ ඇඳුම් නිර්මාණයේ ලොකු වෙනසක් තිබෙනවා. එමෙන්ම චිත්රපටයේ කතා තේමාව එක දවසක වෙන සිදුවීමක්. කතාව එක දවසක එකක් වුණාට රූගත කිරීම එක දවසින් ඉවර කරන්න බැහැ. ඒ සඳහා සති දෙක තුනක් ගත වුණා. එහිදී එක වගේ ඇඳුම් කීපයක් සූදානම් කර ගෙන තිබුණා. මෙහිදී මගේ ඇඳුම දිනපතා පිරිසුදු කරන්න සිදුවුණා. ඒ ඇඳුම් දිනපතා අයින් කරන්නත් බැහැ. ඇඳුම් පරිස්සම් කරගන්න ලස්සනට තියාගන්න ලොකු වෙහෙසක් ගන්න අපිට සිද්ධ වුණා. ඒ වගේ කැපවීම් නිසාම මේ නිර්මාණය හරි සාර්ථකයි. කණ්ඩායමේ උනන්දුව සහ අපිට තිබුණ චිත්රපට පිස්සුව නිසා සාර්ථක නිර්මාණයක් බිහිවුණා.
ඩිංගා චිත්රපටයේ ඇයගේ චරිතය ගැන පවසන්නටත් අමතක කළේ නැහැ.
මෙම චිත්රපටයේ ඩිංගගේ ප්රේමවන්තිය හේෂානි ලෙස මම චරිත නිරූපණය කරනවා. ඩිංගාට ආදරය හමුවෙන හැටි ආදරය කරන්න පටන් ගන්න විදිය හේෂානිට ඩිංගා ගැන හැඟීමක් ඇතිවෙන්නේ කොයි විදියටද කියන එක වගේම වැඩිහිටි වයසේ සිටින අය ආදරය කරන්නේ කොහොමද කියල මගේ චරිතය තුළින් නිරූපණය වෙනවා. මොකද පොඩි වයසේ අය ආදරය කරද්දී වගේ නොවෙයි වැඩිහිටි අය ආදරය කරද්දී එවැනි ආදරයකදී තිබෙන හැඟීම් ඒ ආදරය ඇති වෙන්නේ ඇයි කෙල්ලෙක්ට කොල්ලෙක්ට ආදරය කරන්න පටන් ගන්නේ ඇයි කියලා මේ මේ චරිතයෙන් හරි ලස්සනට කතා කරලා තිබෙනවා.
පළමු වරට මුණගැසුණ අධ්යක්ෂවරයා ගැන ඇයට තිබුණේ මෙවන් අදහසකි.
මේ සිනමාපටය අධ්යක්ෂවරයාගේ පළමු අධ්යක්ෂණය. නමුත් ඔහු සහය අධ්යක්ෂවරයා විදියට වගේම වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ වැඩ කරලා, පිටපත් රචනය, සංස්කරණය ආදී හැම දෙයක් පිළිබඳ හොඳ දැනුමක් ඔහුට තිබෙනවා. ඒ වගේම චිත්රපට ක්ෂේත්රය පුරාම බොහෝ ජ්යෙෂ්ඨ අධ්යක්ෂවරුන් සමග වැඩ කරලා මනා දැනුමක් තිබෙනවා. මට ඔහු මුලින්ම හමුවෙන්නේ කූඹියෝ ටෙලිනාට්යයේ සහාය අධ්යක්ෂවරයා ලෙසයි. ඉන්පසුව ඩිංගා සිනමාපටයෙන් ඔහු හරියටම හඳුනාගන්නවා. වැඩ කරන්න හරිම පහසු කෙනෙක්. කිසිම වෙලාවක ඔහු ආධුනික අධ්යක්ෂවරයෙක් කියලා අපිට දැනුණේ නැහැ. නිතරම අපි ඔහුගෙන් පරිනත බව දැක්කා. කුලුඳුල් සිනමාපටයෙන්ම ඔප්පු කරලා තිබෙනවා ඔහු හොඳ අධ්යක්ෂවරයෙක් කියලා.
මේ වන විට ඩිංගා සිනමාපටයට ලැබෙන ප්රතිචාර
ඡන්ද බලය තිබෙන හැමෝගෙන්නම යහපත් ප්රතිචාර බලාපොරොත්තුවෙන් නිර්මාණය වූ චිත්රපටයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මේ චිත්රපටය තිරයට එන්නේ වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන්. වැඩිහිටි ආදරය ගැන මේ ආර්ථික රටාවට සමාජ ක්රමයට ඇතුළු වුණාට පසුව දැනෙන ආදරය ඒ කියන්නේ රස්සාවක් කරන ගමන් නවාතැන් හදාගන්න ගමන් කොළඹ ජීවත් වෙන අතරේ කන බොන ගමන් සුදුසුකම් හදාගන්න ගමන් කොහොමද ඩිංගක් ආදරය සොයාගන්නේ කියලා කතා කරන මේ සිනමා පටයට ගැන වැඩිහිටි ප්රජාව ඔවුන්ගේ ආදරය පිළිබඳ කතා කිරීමට පටන් ගෙන ඒ ගැන සංවාදයක් ගොඩනැගී තිබෙනවා. ඒ ලැබෙන ප්රතිචාර ගැන සතුටුයි.
චරිත තෝරා ගන්නා ආකාරය ගැන ඇය මෙසේ පවසනවා.
මට තෝරාගන්න තරම් ගොඩක් චරිත රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හරිම කලාතුරකින් තමයි නිර්මාණ ලැබෙන්නේ, ඒ කතා කරන නිර්මාණ තුළ මට කරන්න පුළුවන් මට්ටමේ චරිත ලැබෙනවා. ඒක මගේ වාසනාව. ඒවගේම මාව විශ්වාස කරලා එවැනි චරිත මට ලබා දෙනවට අධ්යක්ෂවරුන්ට ස්තූතියි කියනවා. මම කවදාවත් තෝරාගත්ත චරිත කළේ නැහැ. මට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කළා.
මෙතක් ආ ගමන් මඟ ගැන පවසන්නටත් මේ අවස්ථාවේදී අමතක කළේ නැහැ.
මෙතෙක් කළ චරිත ගැන මම සැහීමකට පත් වෙන්නේ නැහැ.චරිතයක් කරලා ඉවර වුණාට පසුව මේ චරිතයට මට මීට වඩා සාධාරණයක් කරන්න තිබුණා නේ කියලා හිතෙනවා. ඒ සෑහීම්කට පත් නොවීම මම රඟපෑමෙන් ඉවත් වෙන තුරුම තියේවි.

