brand logo
logo
මැද පන්තිය ආසන පටියට හිරවෙයි

මැද පන්තිය ආසන පටියට හිරවෙයි

26 September 2026 | අනීෂා මානගේ

රෝද දෙකක් පමණක් ඇති ඇත්තන්ගේ ඊළඟ වුවමනාව රෝද හතරක් මිලදී ගැනීමය. පවුලේ ළමා ළපටි සියල්ලෝම එක්ව හිතේ හැටියට ගමනක් යන්නට රෝද හතරක්වත් නැතුවම බැරිය. රෝද හතරක් නැතිව සිටි කාලෙත් දරුවන් දෙතුන් දෙනා රෝද හතරේ නංවාගෙන ගමන් බිමන් ගියේ එසේ කිරීම නීතියෙන් වරදක් බව දැනගෙනය. ඒ යතුරුපැදියක දෙදෙනකුට වඩා යා නොහැකි නිසාය. එනමුත් පපුව පිච්චුනු පොලිස් මහත්මයකු දරු පැටව් නංවාගෙන යතුරුපැදි පදවන කාටවත් අතට දඩ කොළ ලීවේ නැත. ඒත් ගිය සතියේ රෝද හතරේ ගමන් යෑම කෙසේ වෙතත් රෝද හතරක් ඇති උදවිය ඉකුත් දින කිහිපයේ විසඳා ගන්නට නොහැකි හතරබීරි කතා බොහෝමයක කරමුලින් සිර වුණේය. එයට හේතුව සීට් බෙල්ට් එකක්ය. මැදි පන්තියේ වාහන ඇති උදවිය මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ සීට් බෙල්ට් ගැනය.


ඒ මන්ද යත් මෙදා සැරේ පොලිසිය සීට් බෙල්ට් හොඳටම තද කර ඇති නිසාය. අධිවේගී මාර්ගයේ යනෙන උදවිය සීට් බෙල්ට් පැලඳිය යුතු බවට නීතියක් කලඑළි බැස්සේ ගිය අවුරුද්දේය. මුලින්ම කීවේ අධිවේගයේ ධාවනය කරන සෑම වාහනයකම රියැදුරු සීට් බෙල්ට් පැලඳිය යුතු බවය. එතැනින් නොනැවතුණු පොලිසිය මේ නීතිය පෞද්ගලික වාහනවල පිටුපස අසුනේ යන මගීන්ටත් ගෙනාවේය. අධිවේගයට පමණක් සීමා නොවුණු සීට් බෙල්ට් නීතිය අධිවේගයෙන් එළියට පැන පොදු ප්‍රවාහන බස් රියැදුරන්ගේ කරටත් වැටුණේය.

පොලිසිය මගීන්ගේ පැත්තට හැරුණේ ඉන් අනතුරුවය. පෞද්ගලික වාහනවල පමණක් නොවේ බස්වල ගමන් ගන්නා මගීන්ටත් සීට් බෙල්ට් අනිවාර්ය කළේය. සීට් බෙල්ට් නැති මගීන්ටත් දඩ ගෙවන්නට වෙන විත්තිය ගැන අනතුරු ඇඟවූයේය. ඒත් ඇතැම් බස්වල පලඳින්නට සීට් බෙල්ට් නොතිබීම ගැටලුවක් වුණේය. පොලිසිය නීති ගෙනාවාට ඒවා හමස් පෙට්ටියට යැවුණේ වටෙන් පිටින් ආ විරෝධතා නිසාය. අවුරුද්දක් පමණ යනතුරු පොලිසිය ඒ ගැන එතරම් තැකීමක් කළේ නැත. ඒත් හමස් පෙට්ටියට දැමූ නීතිය පොලිසිය කුණු දූවිලි ගසා ගිය මාසයේ එළියට ඇදගත්තේය. ‍අවුරුද්දක් තිස්සේ හිතු මනාපෙට අධිවේගයේ ගමන් ගිය උදවියට කල්තියා රතු එළියක් පත්තු කළේ තවත් නම් නිදහසට කරුණු කියන්නට දෙන්නේ නැති බවට හීන් තරවටුවක් ද කරමින්ය.


සීට් බෙල්ට් නීතිය කලඑළි දක්වන දිනයක් ඔවුන් ලකලැහැස්ති කරගත්තේය. ඒ දිනය ඉකුත් විසි වැනිදාය. අධිවේගී මාර්ගයට ඇතුළු වන දොරටු සෑම එකකම පොලිස් නිලධාරින් මුරට දමා මුරකපොලු තද කළේය. වාහන අධිවේගයට ඇතුළු කරන්නට මත්තෙන් රියැදුරන්ගේත් මගීන්ගේත් සීට් බෙල්ට් පරීක්ෂා කෙරුණේය. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පෙර එසේ පරීක්ෂා කළ වැගන්ආර් මෝටර් රියක පස් දෙනෙක් සිටියහ. පවුලේ පිරිසක් අධිවේගී මාර්ගය හරහා යාමට ආවේ අම්පාරටය. මහ පාරෙන් නම් ඒ ගමනට පැය හත අටක් වැය වේ. එනමුත් මත්තල හරහා වැල්ලවායට ගොස් එතැනින් අම්පාරට පැය හතරෙන් යාමට හැකිය. ඒත් පොලිසිය ඔවුන්ගේ ගමනට ඉඩ දුන්නේ නැත. ඔවුන්ට විතරක් නොවේ. සීට් බෙල්ට් පැලඳ නැත්නම් අධිවේගයට වාහන ඇතුළු කිරීමට තහංචි වැටුණේය. ඇතැම් වාහන ආපසු හරවා යැවුණේය.


රට්ටුන්ගේ ආරක්ෂාවට නීති ගෙනාවාට සීට් බෙල්ට් නීතිය ගැන රට්ටු දැන් සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. ඒ මන්ද යත් රෝද හතරට නැග පවුලේ උදවිය සමග ගමනක් යන්නට මත්තෙන් සීට් බෙල්ට් ප්‍රහේලිකාව විසඳන්නට සිද්ධ වී ඇති නිසාය. සීට් බෙල්ට් නීතිය වැඩිපුරම බලපෑවේ මෝටර් රථ හිමිකරුවන්ටය. එයිනුත් පවුලේ උදවිය පස් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සිටින උදවියට මේ ගැන වැඩිපුර හිතන්න වුණේය.

“පවුලේ පස් දෙනාගෙන් එක්කෙනෙක් ගෙදර තියලා යන්නද?” ඔවුන් ප්‍රශ්න කළේ එහෙමය.

රට්ටු එහෙම ප්‍රශ්න කළේ සීට් බෙල්ට් පැලඳීම ගැන පොලිසිය කළ පැහැදිලි කිරීමක් නිසාය. රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ.සේනාධීර කීවේ, වාහනයේ පිටුපස සීට් බෙල්ට් දෙකක් නම් තියෙන්නේ යන්න පුළුවන් දෙ‍න්නෙක්ට විතරයි. මැද කෙනෙක් සීට් බෙල්ට් නැතුව ගියොත් එයාට විරුද්ධව නඩු පවරනවා.....” යැයි කියාය.

අපේ රටේ ඇති මෝටර් රථ බොහෝමයක පිටුපස ඇත්තේ ආසන දෙකක් විතරය. ඒ ආසන දෙක වෙනුවෙන් ඇත්තේ සීට් බෙල්ට් දෙකක්ය. ආසන දෙකක් අපේ උදවිය තුන්දෙනෙක් එතැන වාඩි වී යන්නට පුරුදු වී සිටින්නෝය. එසේ යනවිට මැද සිටින කෙනාට පලඳින්නට සීට් බෙල්ට් එකක් නැත. නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේ මේ ගැනය.

මේ නීතියට රට්ටුන්ගෙන් ආ විරෝධතා හමුවේ ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක රට හදන තැනදී සීට් බෙල්ට් නීතියට පැලැස්තර ඇලෙව්වේය. ඔහු කීවේ,

“වාහනේට සීට් බෙල්ට් ඇවිල්ලා තියෙනවා නම් දාගෙන යන්න ඕනෑ. ඇවිල්ලා නැත්නම් සවිකරගත්තම යන්න පුළුවන්. සීට් එකට සීට් බෙල්ට් එකක් හදාගන්නයි අවශ්‍ය වෙන්නෙ. එහෙම නැතුව වාහනයේ තියෙන සීට් ගාණ ගණන් කරන්න අපි යන්නෙ නෑ...” ඇමැතිවරයා කීවේය.

ඇමැති බිමල් කී කාරණය ගැන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ.සේනාධීරගෙන් විමසන්නට අපි සිතුවෙමු. ඒ මන්ද යත් සාමාන්‍යයෙන් වාහනයක ගමන් කළ හැකි වන්නේ එම වාහනයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් කර ඇති අසුන් ප්‍රමාණයට පමණක් වීම නිසාය. මෝටර් රියක පිටුපස ඇත්තේ ආසන දෙකක් නම් ආසන දෙකට සීට් බෙල්ට් දෙකකට වඩා සවි කළ හැකිද? මේ ඒ ගැන විමසූ විට නියෝජ්‍ය පොලිස්පතිවරයා අපට දුන් පිළිතුරය.

“මෝටර් වාහනයක් කියන්නේ රියැදුරු ඇතුළු නව දෙනෙක් දක්වා ගමන් කරන්න පුළුවන් වාහනයක්. හැබැයි මෙය වාහනයේ ආසන ධාරිතාව අනුව වෙනස් වෙනවා. වාහන වර්ගය අනුව ධාරිතාව වෙනස්. සමහර වාහනවල ආසන හතරයි. තවත් ඒවායේ පහයි. ඉදිරිපස අසුන්වලට ත්‍රී පින් බෙල්ට් අවශ්‍යයි. පිටුපස අසුන්වලට ටූ පින්, ත්‍රී පින් භාවිත කරන්න පුළුවන්. ලැප් බෙල්ට් වුණත් පුළුවන්. හැබැයි ප්‍රධානතම කාරණාව ආසන ධාරිතාව වාහනයේ ලියාපදිංචි පොතේ තිබෙන ගණන පමණයි තියෙන්න ඕනෑ... ”

“ඒ කියන්නේ මෝටර් රථයක පිටුපස ආසන දෙකක් පමණක් නම් තියෙන්නේ අමතරව සීට් බෙල්ට් එකක් සවිකරගන්න බැහැනෙ..”

“ආසන ධාරිතාවට පමණයි පුළුවන්. අපිට නීතියෙන් පරිබාහිර දෙයක් කියන්න බැහැ. මේ හැම නීතියක්ම හදල තියෙන්නේ මහජනතාවගේ ආරක්ෂාවට. සාමාන්‍ය මාර්ගයේ ගමන් කරනකොට අපි බලන්නේ රියැදුරුගේත් ඉදිරිපස අනෙක් අසුනේ යන මගියාගේත් සීට් බෙල්ට් විතරයි. හැබැයි අපි කියන්නේ ජනතාවගේ ආරක්ෂාවට අනිත් අයත් සීට් බෙල්ට් දානව නම් හොඳයි..” නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය.

දරුවන් සමග පවුලේ පස් දෙනෙක් සිටින උදවියගේ ගැටලුව ගැන ඔහුගෙන් විමසන්නට ද අපි අමතක නොකළෙමු. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ.සේනාධීර කීවේ වයස අවුරුදු දොළහට අඩු දරුවන්ට සීට් බෙල්ට් නීතිය බලනොපැවැත්වෙන බවය. ඒ මන්ද යත් සාමාන්‍යයෙන් වාහනයක සීට් බෙල්ට් සකස් කර ඇත්තේ වැඩිහිටියකුගේ ශරීරයට ගැළපෙන පරිදි පමණක් වීම නිසාය. එසේ වූ පමණින් කුඩා දරුවන් අනාරක්ෂිතව වාහනවල රැගෙන යාම නුසුදුසු වන්නේය. කුඩා දරුවන්ගේ ආරක්ෂාවට වෙනමම සවිකළ හැකි සීට් බෙල්ට් ඇත්තේ ඒ නිසාය.

උස අඩි හතරහමාරකට වඩා අඩු උදවියටත් සීට් බෙල්ට් නීතියෙන් ගැලවී ඉන්නට පුළුවන. එයට හේතුව උසින් අඩු උදවියට අනතුරකදී වන හානියට වඩා සීට් බෙල්ට් එක සිරවී තවත් අනතුරක් විය හැකි නිසාය.

කෙසේ නමුදු සීට් බෙල්ට් නීතියෙන් ලොකුම පාඩුව වෙන්නේ දේශපාලනඥයන්ට බව අපේ කල්පනාවය. ඒ මන්දයත් සාමාන්‍ය මගීන් රැගෙන යන ලේලන්ඩ් බස්වලට හිතූ හැටියට සෙනඟ පුරවාගෙන අධිවේගයේ යාමට නොහැකි නිසාය. කොළඹ ඇති දේශපාලන රැස්වීම්වලට මින් මතුවට හම්බන්තොටින්, කුරුණෑගලින්, කටුනායකින් අධිවේගී මාර්ග ඔස්සේ සෙනඟ රැගෙන යන්නට නොහැකිය. මෙතෙක් කලක් දේශපාලන රැස්වීම්වලට රට වටෙන් සෙනඟ ඇද්දේ ලේලන්ඩ් බස් පුරවලාය. දැන් අධිවේගී මාර්ගයේ යන සෑම මගී ප්‍රවාහන බසයකටම සීට් බෙල්ට් අනිවාර්යය. ආසන ඇත්තේ පනස් හතරක් නම් ඊට වඩා එකදු මගියෙක්වත් රැගෙන යන්නට නොහැකිය. හැරත් ලේලන්ඩ් බස්වල මගීන්ට සීට් බෙල්ට් නැත. අධිවේගයේ යනවා නම් මගී ආසනවලටත් සීට් බෙල්ට් සවි කිරීම වුවමනාය.

අධිවේගී මාර්ගය තැනූ පසු බොහෝ දෙනෙක් බස්, වෑන් පුරවාගෙන විනෝද චාරිකා යන්නත් එය භාවිත කළහ. ඊට මෙතෙක් කලක් තහංචි වැටුණේ නැත. පාසල් දරුවන් රැගත් බස් පවා විනෝද චාරිකා ගියේ අධිවේගයේය. ඒත් දැන් එදා වගේ අධිවේගී මාර්ගයේ යන්නට නොහැකිය. එහෙම යනවා නම් මගී ආසනවලට වෙනමම සීට් බෙල්ට් සවි කරන්නත් ඕනෑය. එහෙම නැත්නම් වෙන්නේ එකල වාගේ මුහුද බලාගෙන වෙරළ පාරේ විනෝද චාරිකා යන්නටය.

විනෝද චාරිකා යන බස් හැරුණුකොට සහන මිලට අධිවේගී මාර්ගයෙන් කොළඹ එන කාර්යාලයීය සේවා බස් ද ඕනෑතරම්ය. ඒවායේ බොහෝ විට ගමන් කරන්නේ දිනපතා කොළඹ රස්සාවට යන උදවියය. අධි සුඛෝපභෝගී බස් ද ඕනෑ තරම් ය. ඒත් ඇතැම් උදවිය සුඛෝපභෝගී ගමන එපැයි කියා ලේලන්ඩ් බසයෙන් රස්සාවට යන්නට තෝරාගෙන ඇත්තේ පොකට්ටුවට හොඳ හින්දා ය. ලේලන්ඩ් බසයේ සැප පහසුව ගැන අමුතුවෙන් කියන්නට වුවමනා නැත. මගීන් මේ බස්වල තෙරපීගෙන වවුලන් සේ හතරගාතෙන් එල්ලී යන්නේ නොයා බැරි කමටය. ලේලන්ඩ් බස් ආසනවලට සීට් බෙල්ට් සවිකළහොත් තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට අපේ උදවියට වෙන්නේය. ලේලන්ඩ් බස්වල ආසනවල පිරිසුදුකම ඇත්තේ බින්දුවේය. ජනෙල්, ආසනවල දූවිලි තට්ටු ගණන්ය. සීට් බෙල්ට් එකකුත් ඒ අතරට සිරකර ගත්විට රස්සාවට යනවිට අමතර ඇඳුමක් නම් රැගෙන යන්නම වෙන්නේය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සමහර බස් ද අධිවේගී මාර්ගය හරහා මද දුරක් ධාවනය කරමින් සීමිත වේලාවකදී සිය ගමන සම්පූර්ණ කරන්නේය. එවන් බස්වල ආසන ගණන කෙසේ වෙතත් කෙළින් හිටගෙන යන්නට නොහැකි තරමට මගීන්ගෙන් පුරවලාය. මින් මතුවට ආණ්ඩුවේ බස්වලටත් හිතූ මනාපෙට අධිවේගයේ අධි වේගයෙන් යන්නට නොහැකිය.

උත්සව කාලයේ මගීන් වැඩි දිනවලදී අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ලේලන්ඩ් බස් ධාවනය කරන්නට අවසර ලැබෙන්නේය. ඒ, තාවකාලික අවසර පත්‍රයකටය. මින් මතුවට එවන් දිනවලදී වුවද අධිවේගයට සාමාන්‍ය බස් ඇතුළු කරන්නේ නම් එම බස්වලටත් සීට් බෙල්ට් තිබිය යුතු වන්නේය.

ලේලන්ඩ් බස් හැරුණුකොට කුඩා සුඛෝපභෝගී බස් ද අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේය. මේවායේ ආසන පටි ඇත්තේ ප්‍රධාන ආසනවල පමණය. එයට අමතරව ජම්පින් සීට් ද ඇත්තේය. ජම්පින් සීට් යැයි කියන්නේ බස්වලට අමතරව සවිකළ ඒවාය. සීට් බෙල්ට් නීතියට අනුව හරිනම් ජම්පින් සීට්වලටත් සීට් බෙල්ට් සවි කරන්නට වුවමනාය. ඇතැම් බස්වල දැන් ජම්පින් සීට් ගලවලාය. සමහර ඒවාට අලුතින් සීට් බෙල්ට් සවි කරලාය. ජම්පින් සීට් යැයි කියන්නේ පහසුවෙන් වාඩි වී යා නොහැකි ආසනයක්ය. එවන් ආසනවලට සීට් බෙල්ට් සවි කළ හැකිද? මගීන් අමාරුවේ දමන්නට පෙර බස් හිමිකරුවන් මේ ගැන දැනගැනීම වටිනේය. ඒ ගැනද අපි ඇසුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ.සේනාධීරගෙන්ය.

“ජම්පින් සීට් කියන්නේ අමතරව සවිකළ දෙයක්. නිෂ්පාදකයා වාහනය නිෂ්පාදනය කළාට අමතරව සවි කළ දෙයක්. මෙයට මෝටර් රථ කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය වුවමනා වෙනවා. අවසර අරගෙන ටූ පින් බෙල්ට් සවි කරන්න පුළුවන්. සීට් බෙල්ට් නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අවසර නොමැතිව වාහනයේ මුල් ආකෘතිය වෙනස් කළොත් එයත් වරදක්.. ” නියෝජ්‍ය පොලිස්පතිවරයා පැහැදිලි කළේය.

සීට් බෙල්ට් නීතිය ගැන රට්ටු එතරම් හිත හොඳකින් කතා නොකළාට සීට් බෙල්ට් අනිවාර්ය කර ඇත්තේ රට්ටුන්ගේ ආරක්ෂාවට බව අමතක කළ යුතු නැත. ඒ බව හොඳින්ම පසක් වන්නේ සීට් බෙල්ට් නීතිය අනිවාර්ය කළ දා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වාහන එකොළහක් එකිනෙක ගැටී වූ අනතුරෙන් කිසිවකුටත් ජීවිත හානියක් නොවී දිවි ගලවා ගන්නට හැකිවූ නිසාය.

එක්සත් ජනපද රජයේ නිල වෙබ් අඩවියකද සීට් බෙල්ට්වලින් වන ආරක්ෂාව ගැන පැහැදිලි කර තිබුණේය. එක්සත් ජනපද ජාතික වෛද්‍ය පුස්තකාල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි නිසි පරිදි භාවිත කරන ආසන පටිවලින් රථවාහන අනතුරුවලින් වන මරණ සියයට පනහේ සිට සියයට අසූව දක්වා වළක්වා ගත හැකිය. එක්සත් ජනපදය ආශ්‍රයෙන් 2024 වසරේදී කළ පර් යේෂණයකින් හෙළිව ඇත්තේ දෙදහස් විසි හතර වසරේදී මගී ප්‍රවාහන වාහනවල ගමන් කළ පුද්ගලයන් විසි දෙදහස් හත්සීයක් මිය ගොස් ඇති බවයි. ඉන් අඩක්ම ආසන පටි භාවිත කර නොමැති බව ඉන් අනාවරණය වී තිබුණේය. ආසන පටියේ වැදගත්කම ගැන තවත් අටුවා ටීකා කියන්නට වුවමනා නැත.

සීට් බෙල්ට් යැයි කියන්නේ පොලිසිය දුටු තැන පමණක් පලඳන්නට වුවමනා දෙයක් නොවන බව රට්ටුන්ට මතක් කළ යුතු වන්නේය. ඊටත් වඩා මතක් කළ යුතු දෙයක් ඇත. ඒ දැනටමත් පැටලී ඇති සීට් බෙල්ට් අලුත් නීතියේ අග මුල පැහැදිලි කර පොලිසියේ පොඩ්ඩන්ට කල් තියා දැනුම් දෙන්නට හැකි නම් හොඳ යැයි කියාය. එසේ නොවුණහොත් ආණ්ඩුවට වෙන්නේ රටේම ප්‍රශ්න පසෙකට දමා රට්ටුන්ගේ සීට් බෙල්ට් ගැටලු විසඳන්නට දිගින් දිගටම මාධ්‍ය නිවේදන නිකුත් කරන්නටය.

 

More News..