ක්‍රීඩා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ එහි ව්‍යුහාත්මක සංවර්ධනය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්
07 August 2026
ක්‍රීඩා සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ එහි ව්‍යුහාත්මක සංවර්ධනය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්
07 August 2026
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වෙළඳපොළ කාණ්ඩයක් වන ක්‍රීඩා සංචාරක කර්මාන්තය (Sports Tourism) ශක්තිමත් කිරීම සහ එහි ව්‍යුහාත්මක සංවර්ධනය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් අද දින (07) පැවැත්විණි.
මෙහිදී මෙරට ක්‍රීඩා තරඟාවලි සහ ක්‍රීඩා සැණකෙළි පැවැත්විය හැකි හොඳම ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව සංචාරක අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
එසේම අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් හා ක්‍රීඩා සැණකෙළි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විට මෙරට ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව තහවුරු කරගැනීමටත්, එවැනි ඉසව් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අනුග්‍රාහකත්වය ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.
එමෙන්ම, මෙරට අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන ක්‍රීඩා උළෙලවල්, ක්‍රීඩා තරඟාවලි සහ ක්‍රීඩා සැණකෙළි සඳහා වඩාත් උචිත සහ වඩාත් පහසු ගමනාන්තයක් ලෙස ඔසවා තැබීමට ද, සමස්ත වසර පුරාම පැවැත්වෙන විවිධ ක්‍රීඩා හා සැණකෙළි ඉසව් සඳහා දින දර්ශනයක් සහ පැහැදිලි කාලරාමුවක් සකස් කිරීමට තීරණය කෙරිණි.
තවද, මෙරට තුළ ක්‍රීඩා ඉසව්, ක්‍රීඩා සැණකෙළි සහ ක්‍රීඩා තරඟ පැවැත්වීමේදී පාරදෘශ්‍යභාවයෙන් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව වඩාත් වේගවත්ව සියලුම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලබාගැනීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය නිර්ණායක ද මෙහිදී සකස් කිරීමට තීරණය විය.
ඊට අමතරව, ක්‍රීඩා සහ සැණකෙළි ඉසව් සඳහා අනුමැතිය ලබාදෙන සියලුම ආයතන සහ දෙපාර්තමේන්තු එක්කොට පිළිගත් පිරික්සුම් ලැයිස්තුවක් හෝ පිළිගත් නිර්ණායක සමූහයක් සකස් කර, එකම ස්ථානයකින් කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ගමනාන්ත කළමනාකරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමටත් එකඟතාව පළ විය.

