වොලිබෝල් තේරීම් කමිටුව විසුරුවා හරින්නැයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝගයක්
28 May 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
වොලිබෝල් තේරීම් කමිටුව විසුරුවා හරින්නැයි ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝගයක්
28 May 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ
දිගින් දිගටම පැනනැගුණු අර්බුදකාරී තත්ත්වයන් අවසානයේ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් තේරීම් කමිටුව විසුරුවාහැර ඒ සඳහා නව තේරීම් කමිටුවක් පත්කරගන්නා ලෙසින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
වොලිබෝල් සම්මේලනයේ වත්මන් තේරීම් කමිටුව පත්කරගන්නා මොහොතේ පටන්ම එහි ගැටලුකාරී තත්ත්වයන් රැසක් විටින් විට පැනැනැගුණු අතර අවසානයේ එය සම්මත සාමාජික සංඛ්‍යාවද නොමැති සාමාජිකයන් තිදෙනෙකු පමණක් සහිත කමිටුවක් බවට ද පත්විය.
මෙම කමිටුව පත්කරගන්නා අවස්ථාවේදීම (මින් පෙර වොලිබෝල් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ) හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයකු වන එල්.සී. ඒකනායක එහි සාමාජිකත්වය භාරගැනීමෙන් වැළකී සිටියේ, සාපේක්ෂව වඩාත් ඉහළ සුදුසුකම් සහිත තමන් සිටියදී උදේනි ප්‍රියදර්ශනීගේ සුදුසුකම් ලබාගැනීමේ ලකුණු මට්ටම තමන් හා සමකර ඇයව තේරීම් කමිටු සභාපතිනිය ලෙසින් අයුතු ලෙස පත්කළ බවට චෝදනා කරමිනි.
ඒ සමග සම්මත සාමාජික සංඛ්‍යාව වන ඔත්තේ සංඛ්‍යාවක් වෙනුවට සාමාජිකයන් හතරදෙනෙකුගෙන් සමන්විත ඉරට්ටේ සංඛ්‍යාවක් වොලිබෝල් තේරීම් කමිටුව ලෙසින් නම් කර එවීමට ජාතික තේරීම් කමිටුවට සිදුවිය. අනතුරුව එල්.සී. ඒකනායකගේ පුරප්පාඩුව පිරවීම සඳහා යුද හමුදා නිලධාරියකු පත්කළ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ සෙසු කිහිපදෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටියදී පාසල් වොලිබෝල් පමණක් ක්‍රීඩා කර ඇති එකී නිලධාරියා තේරීම් කමිටුව සඳහා පත්කළේ කෙසේද යන්නත් පැනයක් බවට පත්විය.
මේ අතර මෑත භාගයේ පැවැති තේරීම් සැසියකදී දක්ෂ ක්‍රීඩකයකු අත්තනෝමතික ලෙසින් ඉවත් කිරීම සඳහා කණ්ඩායම් පුහුණුකරුවකු තේරීම් කමිටුවට බලපෑම් කිරීම සහ තේරීම් කමිටු සභාපතිනිය විසින් සෙසු සාමාජිකයන්ගේ තෝරාගැනීම නොසලකා හැර මෙකී පුහුණුකරුවාගේ බලපෑමට නතුව කටයුතු කිරීම හේතුවෙන් වොලිබෝල් තේරීම් කමිටුවේ තවත් අර්බුදයක් ඉස්මතු විය. (මෙහිදී අදාළ පුහුණුකරුවා තේරීම් කමිටු සාමාජිකාවකට පහර දීමට තැත්කළ බවට චෝදනා එල්ලවී ඇතත් එම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීහු මෙතෙක් මුනිවත රකිති) එම සිදුවීමෙන් පසු තේරීම් කමිටු සාමාජිකාවන් දෙදෙනෙකු කරුණු නොදක්වාම ඉවත් කරමින්, තේරීම් කමිටුව තුන් දෙනෙක් දක්වා අඩුකිරීමට හෙවත් සම්මත අවම සාමාජික සංඛ්‍යාවෙන්ද පහතට ගෙන ඒමට කටයුතු සිදුවිය.
අනතුරුව මෙම තෝරාගැනීමේදී අසාධාරණයට ලක්වූ බැව් පැවසෙන ක්‍රීඩකයාගේ පාර්ශ්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක්ද ඉදිරිපත් වූ අතර මේ සියල්ල අවසානයේ වත්මන් තේරීම් කමිටුව විසුරුවාහැරීමේ නියෝගය ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිකුත් වී තිබේ.
එසේ වුවද මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගිකරවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අවසන් තේරීම් පරීක්ෂණය මෙම 30 වැනිදා වතුපිටිවලදී සිදුකිරීමට යෙදී ඇති බැවින්, (නව කමිටුවක් පත්කිරීමට කාල වේලාව මද බව මත) වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයන් පස්දෙනාම යොදාගනිමින් එය පැවැත්වීමට අවසර දෙන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

