හැටෙන් පස්සෙත් රා. සේ .පි
01 August 2026 | සංජය නල්ලපෙරුම
හැටෙන් පස්සෙත් රා. සේ .පි
01 August 2026 | සංජය නල්ලපෙරුම
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය වැඩි කිරීමට ආණ්ඩුව මුට්ටිය එළියට දැම්මේය. ඊට විරෝධය පළ වීම නිසා, ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ තවත් තෝරා ගත් ක්ෂේත්‍ර කීපයක ධුර කාල වැඩි කිරීමටය. මේ ඒ ගැන වෘත්තීය සමිති නායකයෝ කියන කතාවය.
රටේ ඉහළම අධිකරණ විනිසුරුවරුන් ගැන සඳහන් වන්නේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේය. මේ දිනවල කාගේත් අවධානයට ලක්ව තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය ගැන සඳහන් වන්නේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය හත්වැනි වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට පහකි. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට තුනකි.
උපරිමාධිකරණ විනිසුරුවරුන් පිළිබඳ මෙන්ම මහාධිකරණ විනිසුරුන් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන නමුත් අනෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහනක් නොමැත්තේය. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තීරණය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවට පවරා තිබෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය එකොළොස් වැනි වගන්තිය අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීම හා සම්බන්ධ කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවෙන් නීතියෙන් විධාන පැනවිය යුතු බව සඳහන් වේ.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පමණක් නොව වැටුප් පිළිබඳවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබේ. ඒ අනුව උපරිමාධිකරණ විනිසුරුවන්ගේ වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් බවට පත් කර තිබෙන්නේය.
මේ දිනවල ආණ්ඩුව අවධානය යොමු කරමින් සිටින ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ අපේක්ෂාව ක්‍රියාත්මක කරගැනීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු වන්නේය. ඊට හේතුවන්නේ ඉහළ විනිසුරුවරුන්ගේ ධුර කාලය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිශ්චය කර ඇති නිසාය. එනමුත් අනෙකුත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා පනත් සංශෝධනය පමණක් ප්‍රමාණවත් වන්නේය. කෙසේ නමුදු ඉහළ අධිකරණවල විනිසුරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව විරුද්ධ වීමත් සමග රජය කීවේ අධිකරණ විනිසුරුවන්ගේ පමණක් නොව රාජ්‍ය සේවයේ අනෙකුත් සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස, කැමැත්ත අනුව දීර්ඝ කළ හැකි බවය. ඒ අනුව රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස් පාර්ලිමේන්තු අණ පනත් මගින් වෙනස් කළ හැකිවන්නේය. නැතිනම් සේවා ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදිය හැකි වන්නේය.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව කරළියට පැමිණෙන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ වයසත් දීර්ඝ කළ යුතු බවට ඇතැම්හු අදහස් දක්වති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට පහ වෙද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ වයසත් අවුරුදු හැට පහ බවට පත්ව තිබෙන්නේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තීරණය කිරීමේදීත් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් තල දෙස බැලීම සාමාන්‍ය භාවිතාව වන්නේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කරන ලෙසට යෝජනා ඉදිරිපත් වෙද්දී විශ්වවිද්‍යාල ආචාර්යවැරන්ගේ සමිති සම්මේලනය විසින් සිය විශ්‍රාම වැටුප් පිළිබඳ සකස් කර ඇති ලේඛනයක සඳහන් වන්නේ විශ්‍රාම යාමේ වයස අඩු කිරීම ගැනය.
“දැනට ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප් ක්‍රමය අනුව වයස අවුරුදු 65 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගන්නා අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලැබෙන විශ්‍රාම ප්‍රතිලාභ සාපේක්ෂව අඩු මට්ටමක පවතී. එම නිසා දීර්ඝ සේවා කාලයක් හා දායකත්වයක් දී තිබුණද බොහෝ අධ්‍යයන නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයේ උපරිම මූල්‍ය ප්‍රතිලාභ ගැනීමට නොහැකි වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා, අධ්‍යයන කාර්ය මණ්ඩලයට වයස අවුරුදු 60 සිට 65 අතර ඕනෑම අවස්ථාවක විශ්‍රාම ගැනීම සඳහා විකල්පයක් දීම නිර්දේශ කෙරේ. එමගින් විශ්වවිද්‍යාලයේ අවශ්‍යතා සහ නිලධාරියාගේ කැමැත්ත අනුව සේවය දිගටම කරගෙන යාමට හැකි වන අතර, වයස අවුරුදු 60දී විශ්‍රාම ගැනීමට කැමති අයට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ කල් නොයවා ගැනීමේ අවස්ථාව ද හිමි වේ.
ඒ අනුව විශ්වවිද්‍යාල විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කර අධ්‍යයන කාර්ය මණ්ඩලයට වයස අවුරුදු 60 සිට 64 අතර ඕනෑම වයසකදී විශ්‍රාම ගැනීමේ විකල්පය දිය යුතුය” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සකස් කළ ලේඛනයේ සඳහන් වී තිබේ.
කෙසේ නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට විශ්විවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන තෙක් කිසිදු ඉල්ලීමක් කර නැත්තේය. ඒ සඳහා වන යෝජනාවක්වත් මෙතෙක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සාකච්ඡා කර තීරණයකට පැමිණ නැත්තේය.
විශ්ව විද්‍යාලවල දැනටමත් ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව පවසන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවැසුවේය. ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් දොළොස්දහසත්, දාහතරදහසත් අතර සංඛ්‍යාවක් සිටිය යුතු නමුත් මේ වන විට සිටින්නේ ආචාර්යවරුන් පන්දහසක් පමණක් වන බවය.
“විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින ආචාර්යවරුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියේ විශාල දීමනා සහ වැටුප් ලැබෙනවා. රජයේ විශ්වවිද්‍යාලයකින් ලැබෙන වැටුප වගේ දහගුණයක වැටුපක් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විදේශ රටවලින් විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විදේශ ගත වෙනවා. ජ්‍යෙෂ්ඨ සහ අත්දැකීම් තිබෙන ආචාර්යවරුන් මේ නිසා රට හැර යනවා. ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ රඳවාගැනීමට තමයි ක්‍රමවේදයක් අවශ්‍ය කරලා තියෙන්නේ” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා පැවැසුවේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා සඳහන් කරන ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පද්ධතියේ රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ වැටුප් පමණක් නොව විශ්‍රාම වැටුප් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවය.
“රජයේ අනෙක් සේවකයන්ට ලැබෙනවා වගේ විශ්‍රාම වැටුපක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබෙන්නේ නෑ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුපක්. ආචාර්වරුන්ගේ වැටුපෙන් කපලා තමයි මේ විශ්‍රාම වැටුප හැදෙන්නේ. ඒ වගේම තමයි අදට ගැළපෙන විදියට දීමනා යාවත්කාලීන වෙලා නෑ. විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලාවලට ඉගැන්වීම් කරන්නේ ඒ විශ්වවිද්‍යාලයේ නොවන පිට විශ්වවිද්‍යාලවලින් එන ආචාර්යවරුන් විසින්. බදු කැපුණාට පස්සේ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් දාහක්, අටසීයක් විතර දීමනාවක්. ඒ වගේම තමයි කිලෝමීටරයකට රුපියල් දොළහක දීමනාවක් ගෙවන්නේ. ඒ අනුව බලනකොට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිත් දේශනයක් කළොත් අතින් වියදම් කරගෙන ඇවිත් තමයි ඒවා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු අලුත් බදු ක්‍රමය හඳුන්වා දෙන්න කලින් බැංකු ණය අරගෙන තියෙනවා. අලුත් බදු ක්‍රමය නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුපෙන් සියයට හැටක් විතර බදුවලට කැපෙනවා. ඉතිරි ටික බැංකු ණයට කැපෙනවා. අන්තිමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජීවත් වෙන්න විදියක් නැතිවෙලා තියෙන්නේ” විශ්විවිද්‍යාල ආචාර්යවරුන් මුහුණදෙන අර්බුදය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා පැහැදිලි කළේය.
ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රඳවා ගැනීමට නම් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවය.
“දැන් තියෙන ගැටලු එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කරගන්න නෙමෙයි බලන්නේ, පුළුවන් ඉක්මනට විශ්‍රාම යන්නයි බලන්නේ. මේ තත්ත්වය ඇතුළේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කවුරුවත් තමන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කරන්න කියලා නම් ඉල්ලලා නෑ” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලසනයේ ලේකම්වරයා පැවැසුවේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කළ යුතු බවටත් කතාබහක් ඇතිව තිබේ. රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටේ සිට හැට තුන දක්වා දීර්ඝ කළේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීය. අත්දැකීම් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාම් කාලය දීර්ඝ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චන්දික එපිටිකඩුව සඳහන් කරන්නේ එක් ක්ෂේත්‍රයක පමණක් නොව විශ්‍රාම යාමේ වයස පිළිබඳ තීරණය රටක් ලෙස තීරණය කළ යුතු බවය. ඔහු පවසන්නේ මේ වන විට රටේ වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළ යමින් තිබෙන බවය. ඒ නිසා එක් එක් ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරනවා වෙනුවට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව මේ පිළිබඳ තීරණ ගත යුතු බවය. හුදු පුද්ගලික වාසි හෝ දේශපාලන වාසි දෙස බලා මේ ගැන තීරණයක් ගන්නවාට ඔවුන්ට ප්‍රසාදයක් නොමැත්තේය.
“වෛද්‍යවරයෙක් අවුරුදු විසි අට විතර වෙනකොට රාජ්‍ය සේවයට ඇතුළත් වෙනවා. අවුරුදු හැට තුනේදී විශ්‍රාම යනවා. සමහර වෙලාවට වෛද්‍යවරයෙක් රජයේ සේවයේ ඉන්නවාට වඩා වැඩි කාලයක් විශ්‍රාම ගිහින් ජීවත් වෙනවා. වයස්ගත ජනගහනය වැඩිවීමත් එක්ක විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමේ පොදු අවශ්‍යතාවක් තිබෙනවා. ඒත් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරලා සේවය වැඩියෙන් ගන්න පුළුවන්ද කියන එක ගැන අවධානය යොමු කළ යුතු වෙනවා” වෛද්‍ය චන්දික එපිටකඩුව පැවැසුවේය.
එහෙත් ඔහු සඳහන් කරන්නේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කළ පමණින් වැඩි වෛද්‍යවරුන් පිරිසක් රාජ්‍ය සේවයේ රඳවා ගැනීමට නොහැකි බවය.
“මගේ වයස අවුරුදු පනස් හතරයි. මගේ කණ්ඩායමේ වෛද්‍යවරු හත්සීයක්, අටසීයක් විතර හිටියේ. ඊට කලින් කණ්ඩායම් ගත්තාම, කණ්ඩායමට ගත්තේ ඊටත් වඩා අඩු ගාණක්. දැන් නම් එක කණ්ඩායමකට දෙදහසක් විතර වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නවා. ඒ අනුව බලනකොට විශ්‍රාම යාමේ වයස වැඩි කළා කියලා විශාල සංඛ්‍යාවක වැඩිවීමක් වෙන්නේ නෑ. මොකද විශ්‍රාම යාමට ආසන්න වයස්වල වෛද්‍යවරුන්ගේ කණ්ඩායම්වල ඉන්නේ අඩු පිරිසක්. ඒ කාලේ අඩු පිරිසක් වෛද්‍ය විද්‍යාලවලට බඳවාගත්ත නිසා. ඒ වගේම ඒ අයගෙන් සමහරු රට හැරදා ගිහින් තියෙනවා. නැතිනම් කලින්ම විශ්‍රාම ගිහින් තියෙනවා” වෛද්‍ය චන්දික එපිටකඩුව පැවැසුවේය.
ඔහු පවසන්නේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමත් සමග තවත් ගැටලු ඇතිවන බවය. විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබන වෛද්‍යවරු සඳහා ලැබෙන ස්ථාන මාරුවීම් වසර හතරින් හතර ක්‍රියාත්මක වන නිසා විශ්‍රාම යාමේ වසය දීර්ඝ කිරීම හා ස්ථානමාරුවීම් අතර ගැටුමක් ඇතිවිය හැකි බවය.
“විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට පුහුණු වෙලා පත්වීම් ලබන වෛද්‍යවරු මුල්ම පත්වීම බොහෝ විට තමන්ගේ ගම් පළාතෙන් ඈත තැනකට ලැබෙන්නේ. එතැන අවුරුදු හතරක් සේවය කරලා තමයි ඊටත් වඩා ළඟ තැනකට එන්නේ. ඒ විදියට අවුරුදු හතරින් හතර ලැබෙන ස්ථාන මාරුවීම් එක්ක තමයි අවසන් ස්ථානයකට ඔවුන් එන්නේ. ඒ ක්‍රමවේදය සඳහා නිශ්චිත විසඳුමක් දෙන්නේ නැතිව විශ්‍රාම යාමේ වයස දීර්ඝ කළොත් ගැටලුවලට මුහුණදෙන්න වෙනවා. මීට කලින් අවුරුදු හැටක්ව පැවති විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට තුන දක්වා වැඩි කරන වෙලාවේත් මේ ස්ථාන මාරුවීම් ක්‍රමවේදයට විසඳුමක් දුන්නේ නෑ. ඒ නිසා ඒ වෙලාවෙත් ගැටලු ඇතිවුණා” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවැසුවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, රජයේ රෝහල්වල වෛද්‍යවරුන් රඳවා තබා ගැනීමට නම් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් දිය යුතු බවය. වෛද්‍යවරුන් රට හැරදා යාමට විසඳුම් දිය යුතු බවය.
“වෛද්‍යවරුන්ට පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා කලින් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කළාට දැන් ළමුන් ඇතුළත් කරගැනීම ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් ප්‍රවාහන දීමනාවක් ලැබෙන්නේ නෑ. වෛද්‍යවරුන්ට ලැබුණ වාහන බලපත්‍රය ලැබෙන්නේ නෑ. අලුතින් පත්වීම් ලබන වෛද්‍යවරුන්ටවත් මේ වාහන බලපත්‍රය දෙන්න කියලා ඉල්ලුවත් ඒකට විසඳුමක් ලැබී නෑ. මේවා දෙන්නේ නැතිනම් අලුත් වෛද්‍යවරුන්ට රට හැරදා යාම හැර වෙනත් විකල්පයක් නැතිවේවි.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලන්නේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට වඩා මෙම ගැටලුවලට විසඳුම් දීම වැදගත් බවය.
වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්ද ඉල්ලන්නේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කරනවාට වඩා තමන්ගේ ගැටලුවලට විසඳුම්ය. ඔවුන් පවසන්නේ මේ වන විට රජයේ රෝහල්වල සේවය කරන හෙදියන් දැඩි ආතතියකින් සිටින බවය. ඇතැම් විට පැය හයක සේවා මුරයක් සඳහා රාජකාරියට පැමිණෙන හෙදියන්ට පැය විසිහතරක් සේවය කිරීමට සිදුවන බවය.
“හෙද නිලධාරීන්ට ලැබිය යුතු උසස්වීම් දෙන්නේ නෑ. බඳවා ගැනීම් නිසි ආකාරයෙන් වෙන්නේ නෑ. 2017 කාඩයරට අනුව තමයි තවමත් බඳවා ගැනීම් කරන්නේ. ඒක වැඩි කළ යුතුයි. ඒත් ඒක වැඩි කරලා නෑ. හෙදියන්ගේ ප්‍රමාණය වැඩි කිරීමයි දැන් කළ යුතු වන්නේ. බඳවාගැනීම් වහාම කළ යුතුයි” රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසුවේය.
ඔහු පවස්න්නේ හෙදියන් පමණක් නොව හෙදියන් පුහුණු කරන හෙද පුහුණු ආචාර්යවරුන් වසර තුනකින් බඳවාගෙන නොමැති බවය. ඒ අනුව රජයේ හෙද පුහුණු පාසල්වල ආචාර්යවරුන් පනස් දෙනෙක්ගේ හිඟයක් ඇති බවය.
සමන් රත්නප්‍රිය පවස්න්නේ මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු වන්නේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කෙරෙහි නොවන බවය. ඔහු පවසන්නේ දැන් අවධානය යොමු කළ යුතු වන්නේ අලුතින් හෙද සේවයට බඳවා ගැනීම් වැඩි කිරීම කෙරෙහි වන බවය. ඔහු පවසන්නේ දැනටමත් විශාල හෙදියන් පිරිසක් විදේශ ගතවී ඇති නිසා එයට විසඳුමක් දී ඔවුන් තවදුරටත් හෙද සේවයේ රඳවා ගැනීම බවය. ඔහුගේ තක්සේරුව අනුව පසුගිය කාලයේදී පමණක් රජයේ රෝහල්වල සේවය කළ හෙදියන් දෙදහසක් පමණ විදේශ ගතවී තිබෙන්නේය. ඒ රැකියා සඳහාය.
මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරන්නේ ආණ්ඩුව දැන් සූදානමින් සිටින්නේ බැසිල් රාජපක්ෂගේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට බවය.
“මේ විශ්‍රාම වයස් ඉහළ දැමීම සඳහා යෝජනාවක් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා විදියට ඉන්නකොට ගේන්න හැදුවා. අයවැය යෝජනාවක් විදියට ගෙන්න තමයි ඒ වෙලාවේ උත්සාහ ගත්තේ. අවුරුදු හැටේ විශ්‍රාම යාමේ වයස අවුරුදු හැට පහ දක්වා වැඩි කරන්න හැදුවා. එදා බැසිල් කරපු දේ කරන්න තමයි දැන් අයිමත් හදන්නේ” ජෝසප් ස්ටාර්ලින් පැවැසුවේය.
ඔහු පවසන්නේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් විශ්‍රාම යාමේ වයස් පිළිබඳ තීරණ ගත නොහැකි බවය.
“විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගහෙන් ගෙඩි එනවා වගේ තීරණය කරන්න බෑ. විවිධ අරමුණ මත මේවා කරන්න බෑ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම යන්නට විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධය අවාම ඔක්කෝගේම කරන්න ඕන කියලා ආණ්ඩුවම කියනවා. ආණ්ඩුව තුළ මේ පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණේ නැති බව පැහැදිලියි. මේ ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් ආණ්ඩුවටත් නෑ. විද්‍යාත්මකව සලකා බැලූ එකක් නොවන බව පැහැදිලියි. අර සේවාව, මේ සේවාව කියලා වෙනම බලන්න බෑ. මේක ගැඹුරින් බැලිය යුතු දෙයක්. සැලසුම් විරහිතව මේ කරන එකට විරුද්ධයි” ජෝසප් ස්ටාර්ලින් පැවැසුවේය.
ඔහු සඳහන් කරන්නේ ගුරු සේවයට තරුණ ගුරුවරුන් සිටිය යුතු බවය. එහෙත් දැන් ආණ්ඩුව ගුරු සේවා ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් වයස අවුරුදු හතළිස් පහ දක්වා වන ගුරුවරුන් බඳවා ගනිමින් සිටින අතරවාරයේදී විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට විරෝධය දක්වන බවය.
විශ්‍රාම යාමේ වයස ගැන ආණ්ඩුව දැන් මුට්ටිය දමා හමාරය. මුට්ටියට වෙන දේ අනුව ආණ්ඩුව ඊළඟට බෙල්ල දමනු ඇත්තේය. මුට්ටියටත් බෙල්ලටත් වෙන දේ ගැන අනාවැකි කීමට තවමත් කල් වැඩිය.

