brand logo
logo
රටේ ජනාධිපතිවරයාත් ගොනාට ඇන්දවීම!

රටේ ජනාධිපතිවරයාත් ගොනාට ඇන්දවීම!

22 October 2026

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට දෝෂ සහිත ජනාධිපති සමාවක් ලබාදීමට හේතුව එවක ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවය කළ නීති නිලධාරිනිය තමන් නොමග යැවීම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එසේම එවැනි අඩුපාඩුකම් සහිත ජනාධිපති සමාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමාව ද ඇයද සිටියේය. ඔහුගේ නිවේදනය සඳහන් වන පරිදි ජනාධිපතිවරයකු ජනාධිපති සමාවක් යම් පුද්ගලයකුට ප්‍රදානය කළ විට ඒ පිළිබඳ ලියවිලි අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශයට යවා එහිද අනුමැතිය ලබාගත යුතුය. එසේ වුවද හිටපු ජනාධිපතිවරයාගේ නීති නිලධාරිනිය එකී කාර්යය සිදුකර නොමැත. එකී නිලධාරිනිය අපේක්ෂා කළ උසස් වීමක් ලබා නොදුන් හෙයින් එවැනි කුමන්ත්‍රණයක් කළ බව සමහරු සඳහන් කරති.


කෙසේ වුවද රටේ බහුතර මහජනතාව එක්ව පත් කරන විධායක ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා මේ ආකාරයට ඔහු යටතේ සේවය කරන නිලධාරිනියක් විසින් නොමග යවනු ලැබීම සුළු කොට තැකිය යුතු කරුණක් නොවන බව සඳහන් කළ යුතුය. අනෙක් අතට එහිලා පැන නගින ගැටලුව නම් තමන් නොමග යවනු ලැබුවේ යැයි පවසමින් හිටපු ජනාධිපතිවරයාට ඇඟ බේරාගත හැකිද යන්නයි.


අප දන්නා පරිදි ජනාධිපතිවරයකුට හැටහුට හමාරක් උපදේශකයෝ සිටිති. මහජනතාවගේ බදු මුදලින් ඉහළ වරප්‍රසාද ලබාදෙමින් ඔවුන් නඩත්තු කරනුයේ කුමටදැයි විමසිය යුතුය. එයට වඩා බරපතළ නොමග යැවීමකට ජනාධිපතිවරයකු යොමු කළේ නම් එහි ප්‍රතිවිපාක විඳිය යුත්තේ මහජනතාව නොවේද? එහිලා විමසිය යුතු තවත් කරුණක් නම් එවක අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ නොදැන සිටියේද යන්නයි. කෙසේ වුව හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ නිවේදනයක් නිකුත් කරමින් තමන් නොමග යවනු ලැබූ බව පිළිගැනීම අගය කළ යුතුය. බොහෝ අය නොමග යවනු ලැබුවද නොමග නොයවනු ලැබුවෝ සේ කටයුතු කරති. එසේම එම නිවේදනය මගින් ජනාධිපතිවරුන් ඇතුළු ලොකු ලොක්කන් ඉතා සියුම් විදියට නොමග යැවීමට කටයුතු කරන නිලධාරීන් සහ නිලධාරිනියන් සිටින බවද අපට දැන ගැනීමට අවස්ථාව හිමි විය. රටේ රාජ්‍ය නායකයා ගොනාට ඇන්දවීම මහජනතාවට එරෙහිව කළ ද්‍රෝහිකමක් සේ සඳහන් කළ යුතුය. එවැනි ද්‍රෝහීන්ට රජ කාලයේ දඬුවම් ලබාදිය යුතු බව අපගේ මතයයි.


ඉතිහාසයේ සඳහන් වන පරිදි ලංකාවේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහට රජකමත්, රටවැසියන්ට රටේ නිදහසත් අහිමි වූයේ රජු වටා සිටි මැති ඇමැත්තන් ඇතුළු නිලධාරීන් ඔහු නොමග යවනු ලැබීම නිසාය. නොමග යවනු ලැබීමේ බරපතළකම කෙතරම්දැයි එමගින් අපට මොනවට වැටහේ. පාලකයකු නොමග යැවීම ඔහුගේ පාලනය යටතේ තිබෙන රටට පමණක් නොව ලෝකයේ අනෙක් රටවලටද ඉතා නරක විදිහට බලපෑ හැකි බවට හොඳම උදාහරණය ජෝර්ජ් ඩබ්ලිව බුෂ් සී.අයි.ඒ. නිලධාරීන්ගේ වැරදි තොරතුරු මත පදනම්ව ඉරාකය ආක්‍රමණය කිරීමට එක්සත් ජනපද හමුදාවට අණ කිරීමය. ඒ හේතුවෙන් ඉරාකය පමණක් නොව රටවල් රැසක් විනාශ විය. ජීවිත දහස් ගණනක් අහිමිවිය. ඉරාකයේ ජන සංහාරක අවි තිබෙන බවට වැරදි වාර්තාවක් සී. අයි. ඒ නිලධාරිහු ජනාධිපතිවරයාට ලබා දුන්හ. ජනාධිපතිවරයාද ලණුව ගිල දැමුවේය. ඒ ආකාරයට ඈත මෑත ඉතිහාසයේ විවිධ පුද්ගලයන් විසින් පාලකයන්, රජවරුන් නොමග යවනු ලැබීම හේතුවෙන් විනාශයට පත් වූ රටවල්, ජන සමාජ පිළිබඳ තොරතුරු ඕනෑ තරම් තිබේ.


නායකයකු, ජනාධිපතිවරයකු බල චක්‍රය දරමින් සිටින කල බොහෝ උදවිය ඔහු වටා රැස්වෙති. ඔහුගේ රැස්වළල්ලේ ආනුභාවය ලැබීමට පොරකතී. මොවුහු ක්‍රමයෙන් නායකයාට සමීප වී ඔහු නොමග යවති. උසිගන්වති. අවසානයේ ජනාධිපතිවරයා හෝ නායකයා කටයුතු කරනුයේ තමන්ට ලැබුණු මහාජන වරම අනුව නොව මේ ආකාරයට ඔහු වටා රැස්වූ විවිධාකාර පුද්ගලයන්ට ඕනෑ විදියටය.


එනිසා දැනට රට කරවන නායකකාරකාදීහුද හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනය බැරෑරුම් කොට සලකා අවධානය යොමු කළ යුත්තෝය. එමගින් පාඩම් උගත යුත්තෝය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ ජනාධිපතිවරයකු මතු නොව සක්විති රජකු වුවද නොමග යැවිය හැකි සටකපට නිලධාරීහු, නිලධාරිනියෝ සිටිති. එවැනි නොමග යැවීම්වලින් ජනාධිපතිවරයාට පමණක් නොව සමස්ත රටටම හානියක් සිදුවේ. ඒ ආකාරයට හිටපු ජනාධිපතිවරයකු නොමග යවනු ලැබූ නිලධාරිනියට එරෙහිව පියවර ගත යුතුය. තරාතිරම අදාළ නැත. එවැන්නක් කනිටු රාජ්‍ය සේවකයෙක්, නිලධාරියෙක් කළේ නම් ඔහු මෙලහකට දඬුකඳේ ගසා අවසන්ය. නොඑසේ නම් බලනහර කපා ඉවරය! එසේම හිටපු ජනාධිපතිවරයකු නොමග යැවීම හේතුවෙන් පීඩාවට පත් වූයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ය. උන්වහන්සේට සිර දඬුවම් විඳීමට ඉඩ ඇරියේ නම් මේ වනවිට බොහෝ විට දඬුවම් විඳ අවසන් වීමට ඉඩ තිබිණි. මෙකී නොමග යැවීමේ කතාවෙන් පැහැදිලි වන තවත් කරුණක් නම් රාජ්‍ය යාන්ත්‍රණය තුළ බෞද්ධයන්ට එරෙහිව යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවය. ඒවාට සමහර හිටපු ජනාධිපති අගමැතිවරු ආදීහු ද වගකිව යුත්තෝය.

 

More News..