වැරැදි හදාගතයුතු චමරිලාගේ දෙවැනි තරගය අද
23 December 2025
වැරැදි හදාගතයුතු චමරිලාගේ දෙවැනි තරගය අද
23 December 2025
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියාව තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (23 වැනිදා) විසාකාපට්නම් හිදී ආරම්භ වීමට නියමිත අතර පෙරේදා (21 වැනිදා) ඔවුන් මුහුණදුන් ප්‍රථම තරගය ඉන්දියාව හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා පිලට සිදුවිණි.
ප්‍රථම තරගයේ තමන් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසය තරගාවලිය සඳහා උචිත නොවන බවත් ක්‍රීඩා පිටිය තුල සිදු කරන ලද වැරැදි හේතුවෙන් තමන්ට මෙවන් පරාජයක් හිමිකර ගැනීමට සිදු වූ බවත් ප්‍රථම තරගයේ පරාජයෙන් අනතුරුව අදහස් දක්වමින් පැවැසූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඒ සියලු දුර්වලතා මගහරවා ගනිමින් ඉදිරි තරග ක්‍රීඩා කරන බව ප්‍රකාශ කළාය. අද තරගයත් එම ක්‍රීඩාංගණයේම පවතින හෙයින් එම තත්ත්වයන්ට අනුගත වෙම්න් ඉදිරි මෙම තරගය වඩා වගකීම් සහගතව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය.
පෙරේදා පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 121කට සීමා විය. තරගයේ ආරම්භයේ සිටම මන්දගාමී පිතිකරණයක යෙදුණු විෂ්මි ගුණරත්න ලකුණු 39ක් රැස් කල අතර හසිනි පෙරේරා සහ හර්ශිතා සමරවික්‍රම හැර සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය. ආරම්භයේදී වේගවත් පිතිකරණයක යෙදුණු නායිකා චමරි ලකුණු 15කට දැවී යාමත් සමග ඉනිමේ බිඳ වැටීම ඇරැඹිණි.
පිළිතුරු ඉනිම දියත් කළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස ශෆාලි වර්මා ලකුණු 9කට දවාගැනීමට කාව්‍යා කාවින්දි සමත් වුවද දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය ස්ම්‍රිති මන්දනාගෙන් පසුව පිටියට පිවිසි ජෙමිමා රොඩ්‍රිගස් වේගවත් පිතිහරඹයක යෙදෙමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කඩිනම් කරන්නට වූවාය. පන්දුවාර 14.4කදී සිය ඉලක්කය සපුරා ගැනීමට ඉන්දීය පිල සමත් වූ අතර ජෙමිමා එහිදී හතරේ පහර 10ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 69කි. නායිකා හර්මන්ප්‍රීත් කෝර් නොදැවී ලකුණු 15ක් රැස් කළාය. ඉනෝකා රණවීර හැර කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නියකට සාර්ථක වීමට ඔවුහු ඉඩ නොදීම කැපී පෙණුනි.
අද තරගය බොහෝ දුරට පෙර තරගයේ කණ්ඩායම සමගින්ම ක්‍රීඩාකරනු ඇති අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතය.

