Best News Website award
brand logo
logo
ඉම්රාන්ගේ දඬුවම හා අපේ දඬුවම්

ඉම්රාන්ගේ දඬුවම හා අපේ දඬුවම්

23 November 2026

සිරඅඩස්සියේ පසුවන පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය (2018-2022) ඉම්රාන් ඛාන් ගැන ඊයේ පෙරේදා අපේ පාර්ලිමේන්තුවේද කතාබහක් ඇති වූයේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පෙරේරාගේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ අවස්ථාවේ ඉම්රාන් ඛාන් පිළිබඳ විවාදයක් ඉල්ලා සිටීම නිසාය. එහෙත් දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් එවැන්නකට ඉඩදිය නොහැකි යැයි ආණ්ඩුව පැත්තෙන් කියවුණේය.


එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ යෝජනාවට මුල් වූයේ දේශපාලන පළිගැනීමට ලක්වී ඇතැයි කියන ඉම්රාන් ඛාන් නම් දේශපාලනඥයා නොව පාකිස්තානයට 1992 දී එක්දින ලෝක ශූරතාවයද දිනා දුන් ඉම්රාන් ඛාන් නම් ක්‍රිකට් ක්‍රීඩකයාට බන්ධනාගාරයේදී මුහුණපෑමට සිදුවී ඇති දුක්ගැහැට පිළිබඳවය. ඔහුගේ එක ඇසක පෙනීම නැතිවී ගොස් ඇතැයි කියනු ලබන අතර ඔහුට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැතැයි පවුලේ උදවිය ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. ඇත්තෙන්ම ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් අතර ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු හැටියට සෑමවිටම කටයුතු කර ඇති ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි සැලකිල්ල ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුව ඇත්තේ විපක්ෂය නොව ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව අපේ නම් අදහසයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්ද ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස හා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා තිබේ. ලෝකය පුරා ඉම්රාන් ඛාන් හා සමකාලීන ක්‍රිකට් දැවැන්තයින් විශාල පිරිසක්ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට නිසි සැලකිල්ල දක්වන ලෙස දැන් කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටිති. එහෙත් මෙතෙක් නම් පාකිස්තාන ආණ්ඩුවේ ප්‍රතිචාරයේ කිසිදු වෙනසක් සිද්ද වී නැත.


ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි තරුවක් වන ඉම්රාන් ඛාන්ට සිදුවී ඇති අසාධාරණය ගැන අපට මේ මුළු තීරුවම වුව ලියන්නට පුළුවන්කම තිබේ. එහෙත් ඒ අතර අපේ මතකයට ආවේ මේ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇතැයි කියා සිටින අපේ රටේ විපක්ෂය ගැනද ලියන්නට මෙය කදිම අවස්ථාවක් කරගත හැකි බවය. රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ හා චාමර සම්පත් දසනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාට අසාධාරණයක් සිදුවී ඇතැයි සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම කියා සිටියද අප ලියන්නට යන්නේ ඒ ගැන නොවේ.


ඒ 2026 ජූනි මාසයේ 18 වැනිදා අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වැනිදා ඇප මත නිදහස ලබන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සුගීෂ්වර බණ්ඩාරගේ ඉරණම ගැනය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි ඔහු ඒ කාලයේදී රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගත්තේ යැයි චෝදනා ලබා සිටී. මෙහිදී අප ලියන්නේ අධිකරණය විසින් තීන්දු කළ යුතු Sub Judice හැටියට නීති භාෂාවේ සඳහන්, විනිශ්චයට භාජනය වී ඇති කාරණා ගැන නොව පොලිසියේ ක්‍රියාකලාපය ගැනය.


කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් සුගීෂ්වර බණ්ඩාරට ඇප ලබාදුන්නේ ඔහුට විරුද්ධව ඇති චෝදනා පිළිබඳ කෙරෙන පරීක්ෂණවල මන්දගාමී ස්වභාවය ඔහුට ඇප ලබාදිය හැකි විශේෂ හේතුවක් කොට සලකමිනි. කිසියම් චෝදනාවක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සෑම බලයක්ම ඇතත් එය ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුකර තිබේ. නීතියේදී ඇප ලබාදීම රීතිය හැටියටත් ඇප ලබානොදීම ව්‍යතිරේකය හැටියටත් සැලකෙතත් මූලික පරීක්ෂණ අවසාන වී නැතැයි යන කාරණය ඉදිරියට දමා සැකකරුවන්ට ඇප ලබානොදෙන ලෙස ඉල්ලීම මෙරට පොලිසියේ පුරුද්දක් හැටියට නිතර විවේචනයට ලක්වේ.


ජාතික ආරක්ෂාව ඉදිරියට දමමින් පුරවැසියන්ගේ මූලික නිදහස අහිමි කරන පනත් දෙකක් මේ ආණ්ඩුව සම්මත කරන්නට යන්නේ මෙබඳු වූ පොලිසියකට අධික බලතල ලබාදීම සඳහාය. මේ යටතේ ත්‍රස්තවාදයට හා සංවිධානාත්මක අපරාධවලට සීමාවිය යුතු දීර්ඝකාලීන රඳවාගැනීම් සාමාන්‍ය මහජනතාවට එරෙහිවද අවශ්‍ය නම් යොදාගත හැකිවෙයි. එසේ ගත් කල මේ පනත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට විශාල හානියක් සිදුකිරීමට නියමිතය.


දැනටමත් පොලිසිය කටයුතු කරන්නේ සැකකරුවෙකු තමන්ට විරුද්ධව ඇති චෝදනාවෙන් යම් දවසක නිදහස ලැබුවද නොකළ වරදටද ඔහුට දඬුවමක් ලැබෙන අන්දමටය. ඒ දැඩි තදබදයක් හා අඩු මූලික පහසුකම් ඇති බන්ධනාගාරයක දීර්ඝ කාලයක් රිමාන්ඩ් කර තැබීමෙන් වන අතර එය නීතිය තමන්ගේ අතට ගැනීමකි. එබඳු තත්ත්වයක් යටතේ අලුත් පනත්වලින් කෙරෙන්නේ, කොහොමටත් පනින රිළවුන්ට ශක්තිමත් ඉණිමංද තනාදීමය.


කනගාටුවට කාරණය වන්නේ මෙබඳු මර්දනකාරී නීතිවලින් දැඩි ලෙස පීඩාවට පත්වූ දේශපාලන ව්‍යාපාරයක්ම රටේ බලයට පත්ව සිටියදී ඔවුන් විසින්ම ඊටත් ඔබ්බට ගිය නීති ගෙනඒමට කටයුතු කිරීමය.එබඳු තත්ත්වයක් යටතේ අපේ පාර්ලිමේන්තුවට පාකිස්තානයේ මර්දනකාරී නීති කතාකරන්නට පුළුවන්කමක් නැති බව නම් සැබෑය .ඒ අපද යමින් සිටින්නේ ඒ පාරේම බැවිනි.

 

More News..