අධිකරණ අමාත්‍යවරයාගේ බාහිර බලවේග
04 August 2026
අධිකරණ අමාත්‍යවරයාගේ බාහිර බලවේග
04 August 2026
මේ සති අන්තයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම කිසිවකුටත් පුදුම වන්නට කාරණයක් වූයේ නැත. එහෙත් ඉන් පෙනුණේ මාස, සති ගණනකට පෙර නොව දින ගණනකට පෙර ඇති වූ මීගමු බන්ධනාගාර සිද්ධිය ගැන හරිහමන් තක්සේරුවක් බලධාරින්ට නොතිබූ වගය. මන්ද මුල් සිද්ධියේදී මුළු රටේම ජනමාධ්‍ය ආණ්ඩුවට පෙන්වා දුන්නේ එහි වගඋත්තරකරු බන්ධනාගාර තදබදය බවය.
එහෙත් බන්ධනාගාර භාර අධිකරණ අමාත්‍යවරයා කීවේ "ඒකත් හේතුවක් වෙන්න ඇතැයි" කියාය. ඔහුගේ නොතේරුම්කම නිසා හෝ තේරුම් ගැනීමට වුවමනාවක් නැතිකම නිසා හෝ මෙසේ කීවද සැබෑ හේතුව බන්ධනාගාර තදබදයමය. මීගමු සිද්ධියේදී පුන පුනා පෙන්වා දෙනු ලැබුවේ රැඳවූවන් 11,000 කට ඉඩපහසුකම් ඇති බන්ධනාගාරවල 41,000 ක් සිටින බවය.
එය දළ වශයෙන් 1:4 ප්‍රතිශතයකි. මහර බන්ධනාගාරයේ එය 1:5 කටත් වඩා වැඩිය. 991 කට පමණක් ඉඩ ඇති එහි 4447 ක් රැඳවූවෝ සිටිති.
ඉදින් එහි රැඳවූවන්ගේ අසහනය පුපුරා යෑමත් පුදුමයක්ද? "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියා තාප්පවල ලොකු අකුරෙන් ලිව්වාට වැඩක් නැත. නිදාගන්නට, වැසිකිළි යන්නට පහසුකම් නැති මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන් හැටියට හැසිරීම පහසු නැත.
මීගමුවේදී මුල් දවසේ මරණ දෙකක් සිදුවී තිබියදීත් පියවරක් නොගෙන සිටීම නිසා දෙවැනි දවසේ මරණ ගණන විසිහතක් දක්වා ඉහළ නැග්ගේය. මීගමුවෙන් පාඩමක් ඉගෙන නොගත් නිසා දෙසතියක් ඇතුළත දෙවැනි සිද්ධියත් ඇති විය. එහිදී දැවුරුද්දක් තිස්සේ බන්ධනාගාරවල ප්‍රශ්න ගැන පියවරක් නොගත් අමාත්‍යවරයාට මේ සිද්ධිය ද අවබෝධ කරගත නොහැකි වීමේ පුදුමයක් නැත.
ඉතා පැහැදිලිව මෙබඳු තත්ත්වයක් මතුවීමට වගඋත්තරකාරයා බන්ධනාගාර පරිපාලනයයි. වෙනත් වචනවලින් කියතොත් බන්ධනාගාර භාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බන්ධනාගාර පරිපාලනයයි. තවද නොබෝදා මීගමු සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් සියල්ලෝ ද මේ තත්ත්වයට අනියම් වැරදිකරුවෝය.
කෙසේ වුවද හැම ආණ්ඩුවක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බෙදුවේ කන් හැන්දෙන් බවද මෙහිදී නොකියාම බැරිය. බන්ධනාගාරවල ඇති ඉඩකඩට වඩා කීපගුණයක් රැඳවූවන් සිටීමට හා රැඳවූවන්ගේ අනුපාතයට වඩා ඉතා අඩු බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාවක් සිටීමට බලපෑවේ ඒ කුඩම්මාගේ සැලකිල්ලයි. එහෙත් ඒ ප්‍රශ්න ඥාණාන්විත ක්‍රියාවලින් මිස අඥාන ප්‍රකාශවලින් විසඳන්නට බැරිය.
මීගමු සිද්ධියෙන් දින කීපයකට පසු ඇතිවූ මහර සිද්ධියේ අගමුල අමාත්‍යවරයාට වැටහී තිබුණේ නැත. ඒ බව මේ සිද්ධි ඇතිවූයේ බාහිර බලපෑමක් නිසාදැයි සොයාබලන බවට ඔහු කළ හාස්‍යජනක ප්‍රකාශයෙන් පෙනී යයි. එය මෙහිලා තමන්ගේ වගවීම හා වගකීම වසාගන්නට එල්ලා ගත් පිරුවටයකට වැඩි දෙයක් නොවේ.
බන්ධනාගාර ප්‍රශ්නවලට බන්ධනාගාරයට පිටතින් බලපෑමක් සිදුවී ඇත්නම් ඒ අන් තැනකින් නොව රටේ නීති පද්ධතියෙනි. අවාසනාවකට ඒ වැටෙන්නේද මේ කියන අධිකරණ අමාත්‍යවරයාගේ කාර්ය භාරයටමය. බන්ධනාගාර තදබදය අඩුකිරීමට දැනට පවතින නීතිරීතිවල වෙනසක් සිදු කළ යුතු බව මේ ගැන අවදියෙන් සිටින්නන් කියන්නේ අදක ඊයෙක සිට නොවේ.
බන්ධනාගාරගතව සිටින්නන්ගෙන් 30,000ක් පමණ (එනම් සියයට 75 ක් පමණ) මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවලට වැරදිකරුවෝ හෝ සැකකරුවෝ හෝ වෙති. ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොවන පිරිස් බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇතිකිරීම බන්ධනාගාර තදබදය අඩුකිරීමට ගත හැකි එක් පියවරකි. එය තවදුරටත් කල්දැමිය යුත්තක් නොවේ.
දෙවැනි කාරණය සුළු වැරදිවලට දඬුවම් ලැබූවන් හා චෝදනා ලැබූවන් බරපතළ වැරදිවලට දඬුවම් ලැබූ හා චෝදනා ලැබූ පිරිස් සමග එකට සිරගත නොකිරීමය. එළිමහන් සිරකඳවුරු ඇතිකිරීම මගින් මේ ප්‍රශ්නය විසඳා ගත හැකිය. ඉහත කී දෙවර්ගයේ රැඳවූවන් එකට තැබීමෙන් සිදුවන හානිය සුළුපටු නැත.
ඉතිරි කාරණය වන්නේ ප්‍රචණ්ඩ නොවන ක්‍රියාවන්ට වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කිරීමය. දැන් බොහෝ රටවල එබඳු තැනැත්තන් නිවාස අඩස්සියේ තබා නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන්ට විද්‍යුත් උපකරණයක් පැලඳවීම කරනු ලැබේ. එය අපේ රටට හඳුන්වා දීමට දැන් කාලය පැමිණ තිබේ.
බන්ධනාගාර කැරළිවල මූලාරම්භය හැටියට සලකන්නේ 1983 ජූලි මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවූවන් පිරිසක් විසින් තවත් රැඳවූවන් පිරිසක් ඝාතනය කිරීමය. මෙය හුදෙක් ජනවාර්ගික ගැටුමක් හැටියට පමණක් සලකා බැහැර කිරීම ඉන් අපට උගත හැකි හොඳම පාඩම මගහැර දැමුවේය. බන්ධනාගාරයේ පාලනය කොයිතරම් සුළු වේලාවක් ඇතුළත සුළු පිරිසකට අතට ගත හැකිද යන කාරණය ඉන් පරිපාලකයන් අවබෝධ කරගත්තේ නැත.
බන්ධනාගාර ප්‍රශ්නයේ මුල සොයා ගොස් ඊට විසඳුම් නොදී සිටියහොත් ඉදිරියේදී මෙබඳු තවත් සිද්ධි ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත. තමන් වගකීම භාරගත යුතු තැනදී කුමන්ත්‍රණ කතා කියා ප්‍රශ්නය මග හැරීමෙන් ඒ විසඳිය නොහැකිය. දැන් අවශ්‍යව ඇත්තේ ප්‍රශ්නයෙන් කරඇරීම නොව ඊට මුහුණ දීමය.

