brand logo
logo
කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමට සැලසුම්

කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමට සැලසුම්

19 August 2026

කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය, එහි ඇති ඓතිහාසික උරුමය හා ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.


මේ පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව දායකත්වය ලබා දෙයි.


මෙම සංවර්ධන සැලැස්ම හරහා කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සමීප සම්බන්ධතාවක් ගොඩනඟමින්, මෙරට ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි.


කොටුව ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන විධිමත් රථවාහන අධ්‍යයනය (Traffic Study) පිළිබඳව මූලික සාකච්ඡා සිදු විය.


සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ පවතින ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.


ව්‍යාපෘතියේ සමස්ත සැලැස්ම යළි සකස් කර නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව සමඟ ඒකාබද්ධව ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.


ඓතිහාසික වටිනාකම් සහ නවීන නාගරික සංවර්ධනය සමබරව පවත්වා ගනිමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇති බව බලධාරීහු පවසති.

 

More News..