හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය
16 February 2026 | අශිකා ජයවීර
හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය
16 February 2026 | අශිකා ජයවීර
ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල පවසයි.
ඒ අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ඔහු පැවැසුවේය. ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල්අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් අසමත්වීම හේතුවෙන් මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුම් සුරක්ෂිත කළ නොහැකි වුවහොත් අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බැවින් මෙම හදිසි මිලදී ගැනීම සඳහා කටයුතු කර තිබේ.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණය වූයේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට පැමිණි පළමුවැනි අඟුරු නැව් තුනම ප්‍රමිතියෙන් තොර බවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම කාරක සභාවට ලිපියක් එවා තිබෙන බවත් එහි සඳහන්ව තිබුණේ පළමුවැනි නැවේ තිබූ ගල්අඟුරු ප්‍රමාණයේ ප්‍රමිතියවත් තුන්වැනි ගල්අඟුරු නැවේ නොමැති බවත් එය මේ ගල්අඟුරු නැව් දෙකටම වඩා ප්‍රමිතියෙන් අඩු බවය. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලිඛිතව එවා ඇති මෙම දත්ත ඇතුළත් ලිපිය අදාළ කර නොගන්නා ලෙස නැවත දන්වා ඇති බවයි.

