brand logo
logo
පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ ජාතික වැඩසටහන නොවැ. 02වැනිදා

පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ ජාතික වැඩසටහන නොවැ. 02වැනිදා

29 October 2026

මෙරට කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කල්තියා හඳුනාගැනීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් එම සංසදය රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.


පියයුරු පිළිකා පිළිබඳ වත්මන් තත්ත්වය සහ රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ.


මෙරටින් වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගය හේතුවෙන් මියයන බව ද සඳහන් විය.


පියයුරු පිළිකාවක් මුල් අවධියේදීම හඳුනාගතහොත් සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉහළ යන නමුත්, බිය, ලැජ්ජාව සහ ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොමැතිකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, නොවැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය මැතිවරණ කොට්ඨාස සහ දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත්, ඒවාට සෘජුවම සහභාගී වීමටත් නියමිතය.


මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons / Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රිය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.


ග්‍රාමීය, වතු ආශ්‍රිත සහ නාගරික මහල් නිවාසවල ජීවත්වන කාන්තාවන් මෙන්ම සෞඛ්‍ය සේවාවන් වෙත යොමුවීම අඩු ප්‍රදේශවල කාන්තාවන් ද සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.


දැනට වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ගෙන් සුවනාරී සායන සඳහා සහභාගී වන්නේ සියයට 50ක පමණ පිරිසක් බැවින්, එම කාන්තාවන් පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කිරීමත්, ඒ සඳහා පවතින පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට ඔවුන් දිරිමත් කිරීමත් සැලසුමේ අරමුණ වී තිබේ.


ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ පාර්ශ්ව ඒකාබද්ධ කරගනිමින්, වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන් පරීක්ෂණ (Screening Tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.


මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.


ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රතිපත්ති ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබාගැනීමට අදාළ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

 

More News..