විශේෂ බලකා 13 වන කිමිදුම් පාඨමාලා විසිර යාම හමුදාපති ප්‍රධානත්වයෙන්
04 October 2026 | හේෂාර සේනාල් සෝමරත්න-අනුරාධපුර
විශේෂ බලකා 13 වන කිමිදුම් පාඨමාලා විසිර යාම හමුදාපති ප්‍රධානත්වයෙන්
04 October 2026 | හේෂාර සේනාල් සෝමරත්න-අනුරාධපුර
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පසුගිය දා නයාරු හි පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවති 13 වන සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවේ විසිර යාමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
එහි පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ. වීරසේකර විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලදී.
පුහුණු කාලසීමාව තුළ පාඨමාලාව හදාරන ලද ශිෂ්‍ය භට පිරිස් විසින් හිමි කරගත් කුසලතා සහ හැකියාවන් විදහා දැක්වෙන විශේෂිත නිදර්ශන මාලාවකින් මෙම උත්සවය සමන්විත වූ අතර, එම නිදර්ශනයන්හීදී අභියෝගාත්මක ජලාශ්‍රිත පරිසරයන් තුළ සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය විනය, ශාරීරික දරාගැනීමේ හැකියාව, තාක්ෂණික ප්‍රවීණතාව සහ කණ්ඩායම් හැඟීම ඉස්මතු කරමින්, සංග්‍රාමික කිමිදුම් සහ ජීවිතාරක්ෂක මෙහෙයුම් නිදර්ශනයන් ප්‍රදර්ශනය කරන ලදී.
උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව පාඨමාලාව සර්ථකව නිමකරන ලද භට පිරිස් වෙත සංග්‍රාමික කිමිදුම් ලාංඡන පැළඳවීම සිදු කළ අතර, එහි දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන් ආර්.එන්.එස්. කුමාරතුංග අති දක්ෂ සෙබළාට හිමි සම්මානය ලබා ගත් අතර, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ටී. ප්‍රියංකර හොඳම කිමිදුම්කරු ලෙස තේරී පත් විය. 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.කේ. දේශාන් විසින් හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
අනතුරුව, පාඨමාලාවට සහභාගීවුවන් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් පාඨමාලාවේ දී ඔවුන් විසින් දැක්වූ කැපවීම සහ වෘත්තීයභාවය අගය කළ අතරම, නවීන යුද මෙහෙයුම්වල අවශ්‍යතා සපුරාලීම සඳහා මෙහෙයුම් සූදානම සහ විශේෂිත කුසලතා පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කිරීමට පෙර පාඨමාලාවට සහභාගිවූවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. එසේම, පුද්ගලයන් දෙදෙනෙකුට ගමන් කළ හැකි සංග්‍රාමික කයැක් යාත්‍රාවන් ඇතුළු එම යාත්‍රාවන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන ආකෘති සහ එම පාසල මගින් නිපදවන ලද නව නිපැයුම් කිහිපයක් නිරීක්ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යෝජිත සී-ක්‍රාෆ්ට් යාත්‍රා පිළිබඳව ද කරුණු විමසීම සිදු කරන ලදී.
ඉන් අනතුරුව, කිමිදුම් උපකරණ ගබඩා පරිශ්‍රයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සංග්‍රාමික කිමිදුම් ක්‍රියාවලියේ ඉතිහාසය සහ පරිණාමය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් නැරඹූ අතර, සංග්‍රාමික කිමිදුම් මෙහෙයුම් සඳහා භාවිත කෙරෙන විශේෂිත උපකරණ ද නිරීක්ෂණය කළේය. මෙම වැඩසටහන සුහද පිළිසඳරක් සමඟින් අවසන් වූ අතර, එහිදී එතුමන් නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ සුහද අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගත්හ.

