Best News Website award
brand logo
logo
හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

17 November 2026


George Steuart & Company Ltd සමාගම සිය අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා පත් කර තිබේ. ඒ මහතා 2027 ජනවාරි 01 වැනි දින සිට ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.


ඩෝරිස් මහතා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සේවය, වාණිජ සබඳතා සහ උපායමාර්ගික උපදේශන කටයුතු සම්බන්ධයෙන් වසර 30කට අධික පළපුරුද්දක් ඇති වෘත්තිකයෙකි. ඔහු 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ අතර, පේරු සහ පැනමා රාජ්‍යයන්හි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මීට අමතරව, එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (Foreign, Commonwealth and Development Office) ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු ද හොබවා ඇත. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති ඔහු, රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ලන්ඩන් නුවර ආයතනික හා වාණිජ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත.


1988 වසර දක්වා වසර 150කට අධික කාලයක් බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරුන් George Steuart & Company අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කර ඇති අතර, මෙම පත්වීම එම දිගුකාලීන ඓතිහාසික සබඳතාව යළි ශක්තිමත් කරයි. සමූහයේ නව දැක්ම සහ ගෝලීය ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණු සමඟ ගැළපෙන මෙම පත්වීම උපායමාර්ගික වශයෙන් ද වැදගත් වේ.

ඩෝරිස් මහතා George Steuart සමාගමේ පස්වන ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම, ශක්තිමත් ආයතනික පාලනයක් සඳහා සමාගමේ කැපවීම තවදුරටත් තහවුරු කරයි. මෙමඟින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධීක්ෂණය ශක්තිමත් කිරීමටත්, විවිධ දෘෂ්ටිකෝණයන් සැලකිල්ලට ගනිමින් සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් වගකීම් සහගත තීරණ ගැනීමටත් සමාගම දක්වන අවධානය පිළිබිඹු වේ.


මෙම පත්වීම පිළිබඳ අදහස් දක්වමින් George Steuart & Company හි සමූහ සභාපති සර්ව අමරසේකර මහතා මෙසේ සඳහන් කළේය. “ජේම්ස් මහතා අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් කර ගැනීමට ලැබීම අපට මහත් සතුටක් වගේම ගෞරවයක්. ශ්‍රී ලංකාවෙන් ඔබ්බට නව ව්‍යාපාරික අවස්ථා සොයා යන මේ අවස්ථාවේදී, ඔහුගේ පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් සහ ශ්‍රී ලංකාව පිළිබඳ මනා අවබෝධය අපට ඉතා වැදගත් වෙනවා. ඔහුගේ දැනුම සහ අත්දැකීම් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම තුළින් සමූහයේ ඉදිරි වර්ධන සැලසුම් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම තවදුරටත් පුළුල් වනු ඇතැයි අප විශ්වාස කරනවා.”


සිය පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඩෝරිස් මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට George Steuart සමූහය පියවර ගනිමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. මෙය සමූහයට අයත් සියලුම සමාගම් සඳහා වැදගත් කාලපරිච්ඡේදයක් වනු ඇති බව මම විශ්වාස කරනවා. පාරිභෝගිකයින්ගේ, සේවකයින්ගේ සහ කොටස්කරුවන්ගේ යහපත වෙනුවෙන් තීරණ ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට සහාය වීමට මම බලාපොරොත්තු වෙනවා.”

1835 වසරේදී කපිතාන් ජේම්ස් ස්ටුවර්ට් විසින් ආරම්භ කරන ලද George Steuart සමූහය, ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළෙඳ ආයතනය ලෙස ආරම්භ වී අද වන විට ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් බවට වර්ධනය වී තිබේ. තේ අපනයනය, සෞඛ්‍ය සේවා, සංචාරක , මූල්‍ය සේවා, පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික විසඳුම් යන ක්ෂේත්‍රවල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන මෙම සමූහය, සිය 200 වැනි සංවත්සරය කරා ගමන් කරමින් සිටී. සිය දිගුකාලීන උරුමය ආරක්ෂා කරගනිමින් තිරසර වටිනාකමක් නිර්මාණය කිරීමටත්, අනාගත පරම්පරාවන් වෙනුවෙන් වඩාත් යහපත් අනාගතයක් ගොඩනැඟීමටත් සමූහය අඛණ්ඩව කැපවී සිටී.


 

More News..