brand logo
logo
ගරාජයක හදිසියේම ඇතිවූ ගින්නෙන් කෝටියකට අධික දේපොළ හානියක්

ගරාජයක හදිසියේම ඇතිවූ ගින්නෙන් කෝටියකට අධික දේපොළ හානියක්

23 September 2026

මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක අද (23) වන දා දහවල් ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව මත්තේගොඩ පොලීසිය පවසයි.


අලුත්වැඩියාව සඳහා පැමිණි යතුරුපැදියක ඉන්ධන ටැංකිය ගලවා ඉවත්කිරීමට යාමේදී හදිසියේම ගින්න හටගෙන තිබේ.


එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ වෙළෙඳසැල් හිමිකරු ඉන්ධන ටැංකිය බිම දමා ගරාජයෙන් පිටතට පැන ජීවිතය බේරාගෙන ඇත.


හිමිකරු පිටතට පනිනවාත් සමඟම ගිනි ගනිමින් තිබූ ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මෙම ගින්නෙන් කිසිවකුටත් ජීවිත හානි සිදුවී නොමැති අතර, වෙළෙඳසැල තුළ තිබූ යතුරුපැදි 10ක්, විදුලි ජෙනරේටරයක් සහ අලුත්වැඩියා කටයුතු සඳහා යොදාගන්නා උපකරණ තොගයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.


ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරී කණ්ඩායම ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අසල පිහිටි වෙළෙඳසැල් වෙත ගින්න පැතිර යාම පාලනය කිරීමට පියවර ගෙන තිබේ.


අනතුරුව කෝට්ටේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් ගෙන්වා ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..