brand logo
logo
අයැදුම් කළ පවුල් ලක්ෂ 14ක් අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් ලබා නැහැ

අයැදුම් කළ පවුල් ලක්ෂ 14ක් අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් ලබා නැහැ

30 October 2026 | සාලිය කුමාර ගුණසේකර


අස්වැසුම ප්‍රතිලාභය ගෙවීමට අදාළ පළමු නාම ලේඛනයේ සඳහන් පවුල් 1,391,830 ක් ප්‍රතිලාභයට සුදුසුකම් ලබා නොමැති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.


මීට පෙර අස්වැසුම ප්‍රතිලාභය ලැබුවද, තොරතුරු යථාවත් කිරීමෙන් පසුව ප්‍රතිලාභය අහිමි පවුල් සංඛ්‍යාව 331,683 ක් බවද එම මණ්ඩලය කියයි.


මේ අනුව ඉකුත් 2023 වසරේ අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් සහ අයැදුම්කරුවන් සඳහා තොරතුරු නැවත යාවත්කාලීන කිරීමට ඉකුත් 2025 වසර අගදී අවස්ථාව ලබාදී තිබිණි.


ප්‍රතිලාභයට අදාළව තොරතුරු යාවත්කාලීන කිරීමට පවුල් 3,123,757 ක ප්‍රමාණයක් සිය අභිමතය පළකර තිබූ අතර එම කටයුතුවලින් අනතුරුව ඉකුත් 27 වැනිදා අවසන් කරන ලද පළමු නාම ලේඛනයට පවුල් 2,383,630 ක් තොරා ගැනිණි.


ඒ අනුව දිළිඳු සහ අන්ත දිළිඳු යන කාණ්ඩ දෙක යටතේ අස්වැසුම පළමු ලේඛනයට අදාළව ප්‍රතිලාභය සඳහා පවුල් 991,800 ක් සුදුසුකම් ලබා ඇත.


අස්වැසුම ප්‍රතිලාභය සඳහා තෝරා ගන්නා පළමු ලේඛනය යටතේ දීමනා ගෙවීමේ කටයුතු නොවැම්බර් මස 27 වැනිදා සිදුකරන බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් නිමල් කොටවෙලගෙදර පැවසීය.


අස්වැසුම වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.


2023 වසරේ ආරම්භ කරන ලද අස්වැසුම සුභසාධක වැඩසටහනට අනුව වාර්ෂිකව තොරතුරු යථාවත් කළයුතු බවත් ඒ අනුව ඉකුත් වසරේ (2025) නොවැම්බර් මස 11 වැනිදා එම යථාවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවද ඔහු කීවේය.


අස්වැසුම ප්‍රතිලාභය සඳහා 2023 වසරේදී තෝරාගත් සහ අස්වැසුම ප්‍රතිලාභය ලැබුණු නොලැබුණු සියලු දෙනාටම නැවත තොරතුරු ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදුන් බවද සභාපතිවරයා පැවසීය. එහිදී නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් එම තොරතුරු සමීක්ෂණය කළ බවත් අනතුරුව එම තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන තේරීම් කමිටුව හරහා තෝරාගෙන නිර්දේශ කරන ලද ලේඛනය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බවද ඔහු කීවේය.


එම ලේඛනය ප්‍රදර්ශනය කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වනවිට අනුමැතිය ලබාදී තිබෙන බවත් එම ලැයිස්තුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රදර්ශනය කෙරෙන බවද ඔහු කීවේය.


ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධව විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට දින 10 ක කාලයක් ලබාදී තිබෙන බවද සභාපතිවරයා පැවසුවේය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් තිබෙන අභියාචනා කමිටුවට විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කළයුතු බවද ඔහු පැවසීය.


සමාජ සුබසාධක මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) ඩී.එල්.පී.රිශාන් ධර්මසේන මෙහිදී කියා සිටියේ දුප්පත් සමාජ කාණ්ඩය සඳහා (රුපියල් 10,000 මාසික දීමනාව) ප්‍රතිලාභී පවුල් 628,658 ක්ද, අන්ත දිළිඳු සමාජ කාණ්ඩය සඳහා (රුපියල් 17,500 මාසික දීමනාව) පවුල් 363,142 ක් සුදුසුකම් ලබා සිටින බවය. එමෙන්ම,මීට පෙර ප්‍රතිලාභ නොලැබූ අලුතින් ප්‍රතිලාභය ලබාගැනීම සඳහා 153,711 ක් සුදුසුකම් ලබා සිටින බවද ඔහු පැවසීය.

 

More News..