brand logo
logo
එල්-නිනෝවෙන් සැප්තැම්බරයේ උෂ්ණත්වය 40 c දක්වා ඉහළට

එල්-නිනෝවෙන් සැප්තැම්බරයේ උෂ්ණත්වය 40 c දක්වා ඉහළට

27 August 2026 | •සාලිය කුමාර ගුණසේකර

එල් නිනෝ (El Niño) බලපෑම හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේදී උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවැසීය.


එල් නිනෝ තත්ත්වය මේ වනවිට ආරම්භවී තිබෙන බවත්, එය තීව්‍ර වීමේ සම්භාවිතාව සියයට 95 ක් බවට ජාත්‍යන්තර කාලගුණික අංශ විසින් පුරෝකථනය කර තිබෙන බවද ඔහු කීවේය.


ලබන මාසයේදී උෂ්ණත්වය ඉහළ යාම නිසා වියළි කලාපයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා යාහැකි බවද ඔහු පැවැසීය.


පසුගිය කාලයේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ඉක්මවා ගිය අවස්ථා වාර්ත වූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.


බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල දැනට පවතින වර්ෂාපතන තත්ත්වය හෙටින් (28 වැනිදා) පසු අඩුවෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත්, එල් නිනෝ බලපෑම මත ලබන මාසයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවත්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී දිවයිනේ සෑම තැනටම පාහේ වැසි ඇදහැලෙනු ඇතැයි ද ඔහු කීවේය.


දෙසැම්බර් සහ ලබන වසරේ (2027) ජනවාරි මාසයේදී උතුරු, නැගෙනහිර පළාත්වලට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවද, ඉන්දියානු සාගර ද්විධ්‍රැව තත්ත්වය (Indian Ocean Dipole-IOD) ධනාත්මක වුවහොත් වර්ෂාපතනයේ වෙනස්වීම් සිදුවිය හැකි බවද ඔහු පැවැසුවේය.


ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී උෂ්ණත්වය අඩුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව ඊයේ (26 වැනිදා) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය වාර්තා වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල පිට ඇල්ල ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 66 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය.


විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ කුකුලේ ගඟ ආශ්‍රිත ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 63 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය. නෝටන් ප්‍රදේශයෙන් මිලි මීටර් 50 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ සහ ඉඟිනියාගල යන ප්‍රදේශවලින් වර්ෂාපතන තත්ත්වයක් වාර්තා නොවීය.


වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර කියා සිටියේ තෙත් කලාපය ආවරණය වන ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල, බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වල වර්ෂාපතනයේ වැඩිවීමක් පෙරේදා (25 වැනිදා) දිනයේ වාර්තාවූ බවය.

ඊට අමතරව, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතන තත්ත්වයන් දක්නට ලැබෙන බවත්, කැලණි, කළු සහ නිල්වලා ගඟ යන ගංගා ද්‍රෝණි ප්‍රදේශවලින් වාර්තා වූ බවද ඔහු කීවේය.


කැලණි සහ නිල්වලා ගංගා ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ වැසි තත්ත්වයක් වාර්තා වන බවත්, මේ නිසා කැලණි ගඟේ හංවැල්ල ආදී ස්ථානවල ජල මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.


උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36 ක් වාර්තා වූයේ පොළොන්නරුව සහ මුලතිව් යන ප්‍රදේශවලිනි.


වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක පවුල් 26,457 කට අයත් පුද්ගලයන් 84,545 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් මෙලෙස පීඩාවට පත්ව සිටිති. වියළි කාලගුණික තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේය. එම දිස්ත්‍රික්කයේ පවුල් 11,074 කට අයත් පුද්ගලයන් 35,639 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


බදුල්ල දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක පවුල් 24,144 ක පුද්ගලයන් 75,734 කට පානීය ජලය බෙදාදීම සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වියළි කාලගුණික තත්ත්වයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74 සමස්ථ ජල ධාරිතාවය සියයට 35 ක් දක්වා ඊයේ (26 වැනිදා) දිනයේදී පහත වැටී තිබිණි.


අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 09 සමස්ථ ජල ධාරිතාවය සියයට 22 ක් දක්වාද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04 සමස්ථ ජල ධාරිතාවය සියයට 25.8 ක් දක්වාද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05 සමස්ථ ජල ධාරිතාවය සියයට 27 ක් දක්වාද පහත වැටී තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් සඳහන් කරන්නේය.


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ හතරේ සමස්ථ ජල ධාරිතාවය සියයට 34.9 ක් දක්වාද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 සමස්ථ ජල ධාරිතාවය සියයට 45.1 ක් දක්වා අඩුවී ඇත.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා ප්‍රමාණයේ වැව් 5,600 ක පමණ ජල ධාරිතාවය සියයට 25 කට වඩා අඩුවී ඇත. ඇතැම් කුඩා වැව් සම්පූර්ණයෙන්ම පාහේ සිඳී ගොස් පතුල මතුවී තිබේ.


මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල සමස්ථ ජල ධාරිතාවය සියයට 64 ක මට්ටමක පවතින්නේය. මාඋස්සාකැලේ ජලාශයේ සමස්ථ ජල ධාරිතාවය සියයට 93 කද, කාසල්රී ජලාශයේ සමස්ථ ජල ධාරිතාවය සියයට 92 ක මට්ටමක පවතින්නේය. රන්දෙණිගල ජලාශයේ සමස්ථ ජල ධාරිතාවය සියයට 56 ක් බව මහවැලි අධිකාරිය පවසයි.


වියළි කාලගුණික තත්ත්වය නිසා මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික්කවල වී, බඩඉරිඟු ඇතුළු අනිකුත් වගා බිම් අක්කර 8,000 කට පමණ හානි සිදුවී තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පැවැසීය. ගොවීන් 7,000 කගේ පමණ වගා ඉඩම්වලට මෙලෙස හානි සිදුවී ඇත.


මෙහිදී වී වගාවට අදාළව මොනරාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401 කට, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1259 කට, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 783 කට, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 1055 කට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1923 කට හානිවී තිබෙන බව හඳුනාගෙන තිබෙන බව සභාපතිවරයා කීවේය.


මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 3000 කි. මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්‍ෂෙත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් වියළි කාලගුණික තත්ත්වය යටතේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කවල වගා බිම්වලට ගොස් හානි තක්සේරු කිරීම් කටයුතු සිදුකරමින් සිටින බවද සභාපතිවරයා පැවැසුවේය.


හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 ක් සඳහා හෙක්ටයාරයක් සඳහා රුපියල් 100,000 මුදලක් අක්කර 05 ක් සඳහා උපරිම වශයෙන් වන්දි ගෙවීම සිදු කෙරේ.


 

More News..