brand logo
logo
කවදාවත් රෝහලකට නොගිය සිරිමුතු උයනේ අමුතු මිනිස්සු

කවදාවත් රෝහලකට නොගිය සිරිමුතු උයනේ අමුතු මිනිස්සු

26 August 2026 | •ගයාත්‍රි ගීගනආරච්චි

සිය ජීවිත කාලය තුළ කිසිදු රෝහලක හෝ කිසිදු සායනයක වෛද්‍ය පරීක්ෂණයකට භාජනය නොවූ පුද්ගලයන් 50 දෙනකු ග්‍රෑන්ඩ්පාස් සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ පැවැති විශේෂ සෞඛ්‍ය සායනයකදී හමු වී තිබේ.


සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ ඉදිකළ සුවතා මධ්‍යස්ථානය ජනගත කිරීමට සමගාමීව පෙරේදා (24 වැනිදා) මෙම විශේෂ සෞඛ්‍ය සායනය පැවැත් වූ අවස්ථාවේ එම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.


අවුරුදු 35ට වැඩි වයස්වල පසුවන මෙම පිරිස අතරින් අධිරුධිර පීඩනය, දියවැඩියාව, වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පිරිස් මෙන්ම ඇස් පෙනීම දුර්වල රෝගීන්ද හමු වූ බවත්, ඔවුන් රෝග ලක්ෂණ පහළ වුවද කිසිදු දිනයක ඒ වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වී නැති බවත්, “අරුණ” කළ විමසීමකදී උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පවිත්‍රා මුතුකුඩ පැවසුවාය. මෙම පිරිසෙන් සියයට අසූවකට වැඩි දෙනෙක් කාන්තාවන් වන අතර ඔවුන්ගේ බහුතරය කිසිදු රැකියාවක නිරත නොවී නිවසේ කටයුතු කරගෙන ජීවත්වන පිරිස බවද අනාවරණය වී ඇත.


නිවාස ඒකක 546කින් සමන්විත සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ 1500කට අධික ජනතාවක් ජීවත් වෙති. මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන හා රෝග නිවාරණ සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ පියවරක් ලෙස සුවතා මධ්‍යස්ථාන සංකල්පය හඳුන්වා දී ඇති අතර එහි පළමු අදියර යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ සුවතා මධ්‍යස්ථානය විවෘත විය.

 

More News..