මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 130කට අධික ආධාර
29 November 2026
මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 130කට අධික ආධාර
29 November 2026
ශ්‍රී ලංකාවේ මානුෂීය අරමුණු වෙනුවෙන් සිදුකරන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා විශාලතම දායකත්වය ලබාදී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයයි.
ඒ අනුව පසුගිය වසර 24ක කාලය තුළ එම කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 130කට අධික මුදලක් ලබාදී තිබේ.
එම සහාය හේතුවෙන් මෙරට බිම්බෝම්බ අවදානම සියයට 90කින් අඩු කිරීමට හැකි වී ඇති බව අනාවරණය වී ඇත.
ඊයේ (28) පැවති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ආධාර සපයන පාර්ශ්වයන්ගේ සමුළුව අමතමින් අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මයර්ස් මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ බිම්බෝම්බ අවදානමෙන් තොර ආරක්ෂිත භූමි ප්‍රදේශ ඇති කිරීම හරහා අවතැන් වූ පවුල්වලට යළි සිය නිවෙස් වෙත පැමිණීමටත්, ගොවීන්ට සිය වගාබිම්වල නැවත වැඩ කිරීමටත්, දරුවන්ට බියෙන් තොරව නිදහසේ ක්‍රීඩා කිරීමටත් අවස්ථාව උදා වී ඇති බවයි.
ඵලදායී අමෙරිකානු විදේශ ආධාර සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතාගේ දැක්ම මෙම ප්‍රගතිය තුළින් මනාව පිළිබිඹු වන බවද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීවරයා අවධාරණය කළේය.
පැහැදිලි අරමුණු, මැනිය හැකි ප්‍රතිඵල සහ නිශ්චිත අවසන් ඉලක්කයක් කරා යොමු වූ වැඩපිළිවෙළක් එම දැක්මට ඇතුළත් වන බවත්, ඉතිරිව ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සපුරා ගන්නා අවස්ථාව මෙරට ජනතාවට පමණක් නොව, අමෙරිකානු ආධාර සහ ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයන් තුළින් අත්කර ගත හැකි ජයග්‍රහණ පිළිබඳවද වැදගත් සාක්ෂියක් වනු ඇති බව මයර්ස් මහතා පැවසීය.
එමෙන්ම මෙම වැදගත් මෙහෙවරේ අවසන් අදියරට ශ්‍රී ලංකාව නායකත්වය දෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


