ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
09 November 2026
ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපාදන තනි ඒකාබද්ධ සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි - අමාත්‍ය උපාලි පන්නිල
09 November 2026
ප්‍රජා සංවර්ධන සභා හරහා සකස් කරන තනි ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන සැලැස්මකට අනුව සියලු සංවර්ධන ප්‍රතිපාදන යෙදවිය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් දිරිගැන්වීමේ සමාරම්භක උත්සවයට ඊයේ (08) එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ගමේ සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීමේ බලය දේශපාලනඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා නොවිය යුතු බවත්, ඒවා තීරණය කළ යුත්තේ ගමේ ජනතාව විසින්ම බවත්ය.
ප්‍රජා සංවර්ධන සභාවලට ඍජු මූල්‍ය බලයක් නොමැති වුවද, මහජන මුදල් වංචාවෙන්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව නිවැරදිව භාවිත වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා සමාජ විගණනයක් සිදුකිරීමේ නිල බලය එම සභාවලට ලබාදී ඇති බවද ඔහු පැවසීය.
‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා වෙන්කරන මුදල්වලට අමතරව පළාත් සභා, රේඛීය අමාත්‍යාංශ, විමධ්‍යගත මන්ත්‍රී ප්‍රතිපාදන, පෞද්ගලික අංශයේ දායකත්වය සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ද එම ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට අනුව යෙදවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,007ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන සඳහා 2026 වසරේ අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි.
මේ වන විට එම වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති 15,711ක් ක්‍රියාත්මක වන අතර, ඉන් ව්‍යාපෘති 7,830ක් ජීවනෝපාය සංවර්ධනයටත්, ව්‍යාපෘති 7,881ක් යටිතල පහසුකම් සංවර්ධනයටත් අදාළ වේ.
කොළඹ දිස්ත්‍රික්කය සඳහා මේ යටතේ රුපියල් මිලියන 1,107ක් වෙන්කර ඇති අතර, ව්‍යාපෘති 751ක් ක්‍රියාත්මක කර තිබේ. එමගින් සෘජු ප්‍රතිලාභීන් 122,908 දෙනෙකුට ප්රතිලාභ සැලසීමට අපේක්ෂිතය.
හෝමාගම පැවති මෙම වැඩසටහන මගින් කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය යන ක්ෂේත්රවල ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද අපේක්ෂා කෙරේ.
තවද, වසර තුනක් ඇතුළත රාජ්‍ය සේවකයන්ට අවම වශයෙන් සියයට 68ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇති බවත්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ පුළුල් වගකීම ඉටු කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

