brand logo
logo
ඒ අසිරිමත් යෝජනාව!

ඒ අසිරිමත් යෝජනාව!

19 September 2026 | සුන්දර නිහතමානි ද මැල්

සැප්තැම්බර් 20 වැනිදා,

කොළඹදී.

ප්‍රිය රංග (ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක),

මේ ආමන්ත්‍රණය දැකල මගේ බිරිඳට කෑගැහුණා. ඈ මගෙන් අමනාපයෙන් ඇහුවා, "ඔයාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වත් ප්‍රියයිද කියල". "එයැයිව අප්‍රිය වෙන්න මම විපක්ෂෙ දේශපාලනඥයෙක් නෙවෙයිනෙ" කියල මම කිව්වා. ඒ විතරක් නෙවෙයි ඊයෙ පෙරේදා ඉඳන් මට ඔයැයිව ඉතා ප්‍රිය වෙන්න විශේෂ හේතුවකුත් තියෙනවා.

ඒ පහුගිය දවසක පැෆරල් සංවිධානෙ සම්මන්ත්‍රණේකදි ඔයැයි කරපු රටක් වටිනා යෝජනාව නිසා. (දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙන්නෙ කවදාවත් ක්‍රියාත්මක කරන්න බැරි උත්කෘෂ්ට අදහස් බව කවුරුත් දන්නවනෙ. ඒ වුණාට කිසිම කෙනෙක් ඒක කියන්න තරම් අවංක වෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට වෙන්නෙ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන දේවල් කරේ නෑ කිය කිය විපක්ෂෙ අවුරුදු පහම ඤරුඤුරු ගෑමනෙ.)

ඒත් ඔයැයි එදා නිර්භීතව ප්‍රකාශ කළා ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන ප්‍රායෝගික නැති දේවල් ඉවත් කරගන්න ඉඩදෙන්න කියල. ඒක තමයි පහුගිය අවුරුදු හැත්තෑඅටේදි මේ රටේ කෙරිච්ච අවංකම ප්‍රකාශය. එතනදී ඔයැයි අදහස් කරේ ආණ්ඩුවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙන ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියන කතන්දරේ (ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නෙ නෑ කියල) වෙනස් කරගන්න දෙන්න කියලනෙ. ඡන්දෙදි පොරොන්දු වුණාට බලේ ලැබුණට පස්සෙ කවුද කැමති රටේ රජකම වගේ බලයක් තියෙන ජනාධිපතිකම නැති කරගන්න, නේද ?

ඔයැයිගෙ යෝජනාව ස්ථිර කරන ගමන් මම ඒකට ඌණපූරණයකුත් කරන්න කැමතියි. ඒ, ජනාධිපති ක්‍රමේ විතරක් නෙවෙයි ආණ්ඩුවක් භාරගත්තට පස්සෙ, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනේම ගෙඩි පිටින් අයින් කරගන්න ඉඩදෙන්න කියල. මොන මළවදයක්ද හැමදාම අර වගන්තියෙ තියෙන අරක කරේ නෑ, මේ වගන්තියෙ තියෙන මේක කරේ නෑ කියල එක එකාගේ පඩත්තල කතා අහන්න වෙනකොට. ඇයි දෙයියනේ කවුරුත් දන්නවනෙ ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙන්නෙ ඡන්දෙ දිනාගන්න මිසක් ඉෂ්ට කරන්න නෙවෙයි කියල. ඒ නිසා අපි ජාතික ජන බලවේගය යටතේවත් හොර බොරු නැති අවංක දේශපාලනයකට මුල්ගල තියමු!

ඔයැයිට මතක් කරන්නම ඕන තව කාරණයක් තියෙනවා. දැන් ඔයැයි රජයට හොර කරපු, වංචා කරපු ⁣විපක්ෂෙ දේශපාලනඥයො කටඋත්තරයක් ගන්න (විරුද්ධවාදියො කියන හැටියට සිකුරාදාට) ගෙන්නනවනෙ. එතකොට මාරයි, නියමයි කියල අත්පුඩි ගහන මිලියන ගාණකුත් රටේ ඉන්නවනෙ. හැබැයි උන්ටත් මතක නෑනෙ අවශ්‍ය වෙලාවට තමනුත් රජයට හොර කරනව, වංචා කරනව කියල. එක උදාහරණයක් හැටියට ළමයාව ජනප්‍රිය පාසලකට දාගන්න ඔප්පු තිරප්පු ඇතුළු රජයේ ලිපි ලේඛන හොරට හදාගත්ත කී දෙනෙක් ඔයැයි හොරු, වංචාකාරයො අල්ලනකොට හුරේ දානවද?

මම නොදන්නා නිසා අහන්නෙ ඩී.ජී.තුමෝ රජයට කරන වංචා ඔය විදියට එක එක කැටගරිවලට බෙදෙනවද? ඉස්කෝල වංචා වගේ රජයට ආර්ථික පාඩුවක් නැති වංචා සැලකෙන්නෙ සම්‍යක් වංචා හැටියටද? සම්‍යක් වංචාකාරයො තුවාලයක් නැතුව බේරිල යෑම ප්‍රායෝගිකද?

මම,

මානි

ප:ලි: ඒ විතරක් නෙවෙයි තව දේවල් තියෙනවා ප්‍රායෝගික නැති. මේ ළඟදි, රට වටා රැලියකදි ජනාධිපතිතුමා කිව්වනෙ හැම රෙද්දටම ඉස්පිරිතාලෙ දුවන්නෙ නැතුව කොත්තමල්ලි ටිකක් බීල බලන්න කියල. ඒක සම්පූර්ණ ඇත්තක්නෙ. ඒත් පොඩි පරහකට තියෙන්නෙ 1989 ඉඳන් එතුමාගෙ පක්ෂෙ කොත්තමල්ලි ගේන්න, විකුණන්න සහ බොන්න තහනම් කරල තිබීමයි. ඇත්තටම කොත්තමල්ලි නෙවෙයි. සියලුම ඉන්දියන් භාණ්ඩ ගේන්න, විකුණන්න සහ පාවිච්චි කරන්න තහනම් කරානෙ. ඒක නිසා තහනම් කොත්තමල්ලි බොන්න කීම ප්‍රායෝගික නෑනෙ. මිනිස්සු කොත්තමල්ලි නොබී ඉස්පිරිතාල අස්සෙ රිංගන්නෙ 1989 ජේ.වී.පී. කොත්තමල්ලි තහනම කඩන්න බයේද දන්නෑනෙ. ඒක නිසා අපි ජනාධිපතිතුමාට කියමුද, කරුණාකර කොත්තමල්ලි තහනම (සොරි, ඉන්දියන් භාණ්ඩ තහනම) අයින් කළ බව දැන්වත් නිවේදනය කරන්න (තුණ්ඩු කෑල්ලක් යවන්න) කියල.


 

More News..