එල්-නිනෝවෙන් 2027 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දැඩි වියළි කාලගුණයක්
15 June 2026 | සාලිය කුමාර ගුණසේකර
එල්-නිනෝවෙන් 2027 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දැඩි වියළි කාලගුණයක්
15 June 2026 | සාලිය කුමාර ගුණසේකර
එල්-නිනෝ (El-Nino) බලපෑම මත ලබන වසරේ (2027) පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දැඩි වියළි කාලගුණික තත්ත්වයක් මෙරට පවතිනු ඇතැයිද, මේ නිසා ජල කළමනාකරණය කිරීම ඉතා වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පැවසීය.
මෙම වියළි කාලගුණික තත්ත්වය මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවද ඔහු පැවසුවේය.
පැසිෆික් සාගර කලාපයේ මේ වනවිට පවතින්නේ දුර්වල එල්-නිනෝ (පැසිෆික් සාගර කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම) තත්වයක බවත්, එය මේ වසරේ දෙසැම්බර්, ලබන වසරේ (2027) ජනවාරි වන විට එය අති ප්‍රබල වනු ඇති බවට නිරීක්ෂණයන් පවතින බවද ඔහු පැවසීය. එල්-නිනෝ තත්ත්වය ප්‍රබල වීමට ඇති හැකියාව මේ වනවිට සියයට 60 ක පමණ මට්ටමක පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
පැසිෆික් සාගර කලාපයේ 1950 සිට මේ දක්වා කාලය තුළදී එල්-නිනෝ තත්ත්වයන් 28 ක් පමණ වාර්තා වන බවත්, මේ කාලය තුළදී අති ප්‍රබල එල්-නිනෝ තත්ත්වයන් වාර්තාවී ඇත්තේ තුනක් පමණක් බවද ඔහු පැවසීය. 1982-83,1997-98 සහ 2015-16 යන වසරවලදී මෙම අති ප්‍රබල එල්-නිනෝ තත්ත්වයන් වාර්තා වන බවද ඔහු කියා සිටියේය. මීට අමතරව, 1950 වසරේ සිට මේ දක්වා ප්‍රබල එල්-නිනෝ හයක් (06) වාර්තා වන බවද ඔහු පැවසීය. එමෙන්ම, දුර්වල එල්-නිනෝ 12 ක් පමණ වාර්තා වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෑතකදී, 2023-24 වසරවලදී වාර්තා වූයේ ප්‍රබල එල්-නිනෝ තත්ත්වයක් බවත්, එය අති ප්‍රබල එකක් නොවන බවද ඔහු කීවේය. කාලගුණ විපර්යාස තත්ත්වයන් සමග එල්-නිනෝ පැමිණීමේ වාර ගණන වැඩිවී තිබෙන බවද ඔහු කීවේය.
ඒ අනුව, පැසිෆික් සාගර කලාපයේ දැන් පවතින එල්-නිනෝ තත්ත්වයද ප්‍රබල වන ඇතැයි ලෝක කාලගුණික අංශ විසින් පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවසුවේය.
සාමාන්‍යයෙන් එල්-නිනෝ තත්ත්වයකදී සැප්තැම්බර් මෙරටට මාසයේදී වැසි අඩුවන බවත්, එල්-නිනෝ තත්ත්වයකදී නිරිත දිග මෝසම අඩාල වූවත්, මෙවර මැයි මාසයේදී වැඩි වර්ෂාපතන තත්ත්වයක් වාර්තා වූ බවද ඔහු පැවසීය. එමෙන්ම, මේ මාසයේදී ද (ජූනි) වර්ෂාපතනය පවතින බවද ඔහු කියා සිටියේය.
එල්-නිනෝ තත්ත්වයේ බලපෑම මත ජූලි, අගෝස්තු මාසවලදී ලංකාවට දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයිද, මේ කාලයේදී වර්ෂාපතනය අඩුවී උණුසුම වැඩිවනු ඇතැයිද ඔහු කීවේය.
නිරිත දිග මෝසම අවසන්වී දෙවන අන්තර් මෝසම ආරම්භවන අතරමැද කලාපය සැප්තැම්බර් බැවින්, මෙම කාලයේදී බටහිර පැසිෆික් මුහුදු කලාපයේ සුළි කුණාටු නිර්මාණයවීමේ හැකියාව පවතින බවත්, එවැනි තත්ත්වයකදී නිරිත දිග මෝසම සක්‍රීයවී සැප්තැම්බර් වැසි ඇතිවිය හැකි නමුත්, ඒ පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
දෙවැනි අන්තර් මෝසම පවතින ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී අධික වැසි ඇතිවනු ඇතැයිද, ගංවතුර තත්ත්වයන් වුවද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
අගෝස්තු මාසයෙන් පසුව ඉන්දියානු සාගරයේ උණුසුම වෙනස්වීම (Indian Ocean Dipole) සක්‍රීය වනු ඇති බවට අනාවැකි පවතින බවත්, එවැනි තත්ත්වයකදී දෙවැනි අන්තර් මෝසමේදී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ අවස්ථාව වැඩි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. මෙවැනි තත්ත්වයකදී දෙසැම්බර් මාසයේදීත් වැසි තත්ත්වයක් ඇතිවන බවත්, එහිදී, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස තුනේදීම වැසි ඇතිවනු ඇතැයිද ඔහු කියා සිටියේය. මෙහිදී 2026/27 මහ කන්නයට හොඳ වැසි තත්ත්වයක් ලැබීමෙන්, එම කන්නයට ප්‍රමාණවත් පරිදි ජලය ලැබෙන බවද ඔහු කියා සිටියේය.
එල්-නිනෝ තත්ත්වය ක්‍රමයෙන් නැතිවීමත් සමග ලබන වසරේ (2027) පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදී මෙරටට වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයිද ඔහු පැවසීය.
මේ කාලයේදී විදුලි පාරිභෝජනයද ඉහළ යන බවත්, ටකරන් ආදිය සෙවිලි කරන ලද අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචි අයට දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා අපහසුතා උද්ගත වන බවත්, ලෙඩ රෝග පැතිරයාමේ ඉඩකඩ වැඩි බවද ඔහු කියා සිටියේය.
මේ කාලයේදී අධික උණුසුම නිසා බෝ නොවන රෝගවලින් පෙළෙන, හෘදයාබාධ රෝගීන් ආදී රෝගීන් උණුසුම් තත්ත්වයෙන් ආරක්ෂාකාරී වියයුතු බවද ඔහු පැවසුවේය.
මේ වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉතා හොඳ වර්ෂාපතන තත්ත්වයක් ලැබෙන නිසා වැව් ජලයෙන් පිරීයන බවත්, එම ජලය ලබන වසරේ (2027) අප්‍රේල් දක්වා කළමනාකරණය කර ගැනීම ඉතා අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
විදුලි බලයට ජලය සපයා ගැනීම සහ කෘෂිකර්මාන්තයට ජලය සපයා ගැනීම නිවැරැදිව කළමනාකරණය කරගත යුතු බවත්, 2026/27 මහ කන්නයේ බිම් සැකසීමේ කටයුතු වර්ෂා ජලයෙන්ම සිදුකර ගැනීමට අවධානය යොමුවිය යුතු බවද ඔහු පැවසීය.
මේ නිසා 2027 යල කන්නය සඳහා ජලය ආරක්ෂාකර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය. මෙම එල්-නිනෝ තත්ත්වය ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවලට තදින්ම බලපාන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මේ නිසා ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවද ඔහු කියා සිටියේය.
ලංකාව පිහිටා තිබෙන ප්‍රදේශයට එල්-නිනෝ බලපෑම ඉතා සාමාන්‍ය බවට ලෝක කාලගුණ විද්‍යා සංගමයද සඳහන්කර තිබුණද, ලංකාව වටා කලාපයට මෙම තත්ත්වය බලපෑම නිසා එම බලපෑම් ලංකාවට එල්ලවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

