brand logo
logo
ඌව සරසවියට සිසුන් ප්‍රමාණය දරන්න බැහැ

ඌව සරසවියට සිසුන් ප්‍රමාණය දරන්න බැහැ

02 October 2026

ආචාර්යවරුන්ගේ හිඟය, දැරිය නොහැකි ප්‍රමාණයට සිසුන් ඇතුළත් කිරීම ඇතුළු අඩුපාඩු රැසක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් මෙන්ම ආචාර්යවරු ද දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි එම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් කුලතිලක පැවසීය.


සිසුන්ගේ වැඩිවීමට සාපේක්ෂව විද්‍යාගාර, පර්‌යේෂණාගාර හා ශාලා පහසුකම් ඇතුළු පහසුකම් වර්ධනය වී නොමැති බවත් නේවාසිකාගාර පහසුකම්ද ප්‍රමාණවත් නොවන බවත් ඔහු කීවේය.


විශ්වවිද්‍යාලයේ ඊයේ (01 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව කී හෙතෙම විශ්වවිද්‍යාල පද්ධතියට දරාගත නොහැකි තරම් සිසුන් ප්‍රමාණයක් අන්තර්ග්‍රහණය කිරීම නිසා ගැටලු රාශියක් පැන නැගී ඇති බව ද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට මෙය දරුණු ලෙස ඇති අතර මෙම විශ්වවිද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වසර හතරේම පීඨ 5ක සිසුන් ප්‍රමාණය 5000 පන්දහස ඉක්මවා ගොස් ඇතැයි ද ඔහු කීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මෙසේද කීවේය.


විශ්වවිද්‍යාලයේ තියෙන ස්ථිර නේවාසිකාගාර තුළ පහසුකම් සපයන්න පුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්සීයත් හයසීයත් අතර ප්‍රමාණයකට පමණයි. අනෙකුත් සිසුන් සියලු දෙනාම විශ්වවිද්‍යාලයට පිටතින් කුලියට ලබාගත් නේවාසිකාගාරවල රැඳී සිටින්නේ. සිසුන්ට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවලට පැමිණීමේ සිට නේවාසිකාගාර ගැටලුව නිසා ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. ඒ සමගම මේ අධික ශිෂ්‍ය සංඛ්‍යාව නිසා දේශන ශාලාවල සහ පර්‌යේෂණාගාරවල අධ්‍යයනය කටයුතු කිරීමේදී එකම දේශනය නැවත නැවත කිරීමට සිදුවන අවස්ථා තියෙනවා. ඒ නිසා පර්‌යේෂණාගාරවලදී එකම පර්යේෂණය එකම ක්‍රියාකාරකම නැවත නැවත කුඩා කණ්ඩායම් විදියට යොදාගෙන රෑ බෝවන තෙක්ම එම කටයුතු කිරීමට ආචාර්ය මණ්ඩලයට සිදුවෙලා තියෙනවා. සියලු විද්‍යාගාරවලත් පර්‌යේෂණාගාරවලත් සීමිත පහසුකම් තිබීම නිසා මේ ගැටලුව තියෙනවා.

ශිෂ්‍යාවන් පන්දහසක් වගේ ලොකු ප්‍රමාණයක් නිසා දේශන ශාලාවෙන් පිටට ආවම ඒ අයට අවශ්‍ය සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් සිසුන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කිරීමේ පහසුකම් ආපනශාලවල ඉඩ පහසුකම් යනාදිය ගැටලු නිසා සිසුන් සෑහෙන අසීරුතාවකට පත්වෙලා තියෙනවා.

ආචාර්ය සංගමයේ සම ලේකම් ආචාර්ය නිරංජන් ගුණසේකර ද මෙහිදී අදහස් දැක්වීය.

 

More News..