brand logo
logo
ඔලිම්පික් සභාපති සුබ්‍රමනියම්ට සෙස්සන්ගෙන් චෝදනා වැස්සක්

ඔලිම්පික් සභාපති සුබ්‍රමනියම්ට සෙස්සන්ගෙන් චෝදනා වැස්සක්

23 April 2025 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් අර්බුද සියල්ල පැනනැගී ඇත්තේ එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් යැයි ජාතික ඔලිම්පික් කමිටු සාමාජික සංගම් නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (22වැනිදා) කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී කියැවුණි.

වත්මන් සභාපතිවරයා ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යාවස්ථාව නොදන්නා අයෙක් මෙන්ම නිසි ව්‍යවස්ථාවට පටහැනිව අත්තනෝමතික ලෙසින් කටයුතු කරමින් කමිටුවේ සියලු වැඩ කටයුතු අවුල්කර දමා ඇතැයි ද මෙහිදී චෝදනා නැගුණි.


පොරොන්දු කැඩුවා



එම සාකච්ඡාවේදී පළමුව අදහස් දැක්වූ ඉකුත් දා සභාපතිවරයා විසින් මුල්‍ය අක්‍රමිකතා චෝදනා රාශියක් එල්ල කරමින් තහනමට ලක්කරන ලද උප ලේකම්වරයා වූ චන්දන ලියනගේ, සුරේෂ් සුබ්‍රමනියම්ව ඔලිම්පික් කමිටු සභාපති පුටුවේ අසුන් ගැන්වීම සඳහා සිය ඡන්දය භාවිත කළ අයෙක් වශයෙන් අද තමා ඒ ගැන කනගාටුවට පත්වන්නේ යැයි පැවැසීය. සුරේෂ් බලයට ගෙනෙන ලද්දේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ යෝජනා රැසක් ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුවක් මත වුවද, බලයේ සිටි වසර 8ක කාලය තුළ ඔහු ඒ කිසිවක් ඉටු නොකළ බවද පවසා සිටියේය.


යළිත් පුටුව දෙන්න බෑ කියූ නිසා වෛර වුණා


නමුත් ව්‍යවස්ථා සංශෝධනය කරමින් ඉදිරියේදී තවත් ධුර කාලයක් සඳහා පත්වීම ඔහුගේ අරමුණ වූ අතර එයට තමා ඇතුළු සෙසු පිරිස් අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමගින් ඔහු මෙලෙස විරෝධී ආකල්පයකින් යුතුව හැසිරීමට පෙලැඹුණේ යැයි හෙතෙම කියා සිටියේය. එසේම තමා ව්‍යවස්ථා විරෝධී ලෙසින් විදේශ සංචාර වෙනුවෙන් දෛනික දීමනා ලබාගෙන ඇතැයි වත්මන් සභාපතිවරයා චෝදනා කර සිටියද, පෙර ලබාදුන් අදාළ දෛනික දීමනාව තවදුරටත් ඉහළට ද නංවමින් ඒ සඳහා වන අනුමැතීන්ට අත්සන් ලබා දී ඇත්තේ සුරේෂ් සුබ්‍රමනියම් යැයිද චන්දන ලියනගේ මෙහිදී ලියැවිල්ලක් ඉදිරිපත් කරන ලදී.


තීන්දු ගෙන ඇත්තේ අනුමත නැති ව්‍යවස්ථාවකින්ලු


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් ද මෙහිදී අදහස් දැක්වූ අතර, තම තීරණ සාධාරණීකරණය කිරීම සඳහා අනුමත නොවූ ව්‍යවස්ථාවක් පෙන්වමින් විධායක සභාව නොමග යැවීමට වත්මන් සභාපතිවරයා කටයුතු කර ඇති අතර ඒ අනුව අයුතු බලයක් ආරෝපණය කරගනිමින් යම් ජාතික සංගම්වලට බලපෑම් එල්ල කිරීමටද සභාපතිවරයා පෙලැඹී සිටින බවට ඔහු විසින් චෝදනා නගන ලදී. නමුත් ඉකුත්දා පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී, එකී ව්‍යාවස්ථාව කියවා ඇතිදැයි සභාපතිවරයාගෙන් තමා ඇතුළු පිරිස විමසූ විට තමා එය පරිශීලනය කර නොමැති යැයි සභාපතිවරයා පැවැසූ බවත් එයින්ම ඔහු මෙම තනතුර දැරීමට නුසුදුස්සකු බව ඔප්පුවන බවත් ජස්වර් පැවැසීය.


ඔලිම්පික් කමිටු ගිණුමක් අත්හිටුවයි?


එසේම සම්මත නොවූ ව්‍යවස්ථාවක් යටතේ සභාපතිවරයා විසින් පත්කළ භාණ්ඩාගාරිකවරයා ඉකුත් සමයේ චෙක්පත් 40කට පමණ අත්සන් යොදා ඇති අතර එය බරපතළ වරදක් මෙන්ම මේ හේතුවෙන් එක්තරා රාජ්‍ය බැංකුවක් විසින් ඊයේ දිනයේදී ජාතික ඔලිම්පික් කමිටුව නමින් එහි ඇති ගිණුමක් අත්හිටුවීමට ක්‍රියා කර ඇතැයි ද මෙහිදී පැවසුණි. මේ සියල්ල අතරතුර සුරේෂ් විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගෝනි බිල්ලකු කර පෙන්වා සිය මර්දනය ක්‍රියාත්මක කරන බවට ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. එසේම ජාත්‍යන්තර ඔලිම්පික් සංගමයෙන් මෙරටට ලැබුණු ප්‍රතිපාදන තහනම් කිරීමට මුල් වූයේ සුරේෂ් විසින් ඒ වෙත යොමුකරන ලද ලිපියක් බවට ද මෙහිදී දැඩි චෝදනාවක් එල්ල කරන ලදී.


ඔලිම්පික් රැස්වීමකට නෝනවත් අරන් ගියා


ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සම්බන්ධ‍යෙන් භූතානයේ පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් සහ එහි වෙනත් නිලධාරියකු සහභාගී විය යුතුව තිබූ රැස්වීමක් සඳහා සුරේෂ් සුබ්‍රමනියම් සිය බිරිඳ ද සමග ගිය බවට මෙහිදී ඡායාරූපයක් ඉදිරිපත් කළ ජස්වර්, සභාපතිවරයා සිය පුද්ගලික වියදමෙන් බිරිඳව එහි රැගෙන ගියද අදාළ නොවන රැස්වීමකට එලෙස සහභාගීවීම බරපතළ වරදක් ලෙසින් පෙන්වා දුන්නේය. සුරේෂ් සුබ්‍රමනියම් යනු කුපක්‍රට පැන්ඩෝරා පත්‍රිකාවලද නම ඇති අයකු යැයි මෙහිදී ප්‍රකාශ විය.


ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා


මේ ආකාරයෙන් වත්මන් සභාපතිවරයාගේ පරිපාලනය සහ එහිදී ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ පිරිස, මේවා සම්බන්ධයෙන් අද (23වැනිදා) දිනයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කරන බවත් ජාත්‍යන්තරයේ සහ දේශීය බලධාරීන් දැනුවත් කර, මේ වන විට දැඩි ලෙස අවුලට පත්ව ඇති ඔලිම්පික් කමිටු විධායක සභාව විසුරුවාහැර නිරවුල් පාලනයක් ගෙන ඒම තමන්ගේ අපේක්ෂාව බවත් ඒ සඳහා සාමාජික සංගම් 30ක් අතුරින් 29ක් පෙලගැසී සිටින බවත් පවසා සිටියේය.



අලුත් පාලනයක්ද? අදූෂිත ඔලිම්පික් කමිටුවක්ද?


මේ අතර, එම මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවූ පුද්ගලයන් අතුරින් සමහරෙක්ද ක්‍රීඩා පරිපාලනයේ අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වී සිටින්නන් බවත් (කරුණු සහිතව දක්වමින්), කාලයක් පුරා එකට එක්ව ජාතික ඔලිම්පික් කමිටුව ‘ඉහගෙන කා’ බැරිවූ තැන මෙලෙස දෙපිළ බෙදී චෝදනා කරගන්නා අයුරක් පෙනී යන බවත්, එනිසා මෙහිදී කළ යුත්තේ අලුත් පරිපාලනයක් පත්කිරීම ද නැතහොත් ජාතික ඔලිම්පික් කමිටුව වෙලාගත් දූෂණය දුරු කිරීම සඳහා ක්‍රියා කිරීමදැයි මෙහිදී ‘අරුණ’ විමසා සිටියේය.


ජස්වර් සහ දොලවත්තගෙන් පිරිසුදු පාලනයකට පොරොන්දු


ඉකුත් සමයේ ඒ ආකාරයේ දූෂණ වංචා සිදුව ඇතැයි සෙසු නිලධාරීන් හට චෝදනා කිරීමට මුල් වී සිටිනුයේ සුරේෂ් සුබ්‍රමනියම් වන නමුත් එවැනි දෑ සිදුව ඇතිනම් ඒවා එලෙස සිදුවන්නට ඉඩදීම සම්බන්ධ‍යෙන් සභාපතිවරයා ලෙස සුබ්‍රමනියම් අංක එකේ වගකිවයුත්තා විය යුතු යැයි මෙහිදී පිළිතුරු ලැබුණි. මේ අතර මෙයට සහභාගී වූ තවත් අයෙක් එවැනි චෝදනා ගැන නොදන්නා බව පවසද්දී, තමන් ජාතික ඔලිම්පික් කමිටුව හා යෙදීමේදී කිසිදු චෝදනාවක් ලබා නැති අය ලෙසින් මත්තෙහි බිහිවන නව පරිපාලනය ඉතාම පිරිසිදු එකක් වනු ඇතැයි ජස්වර් උමර් සහ ජිම්නාස්ටික් සංගමයේ සභාපති ප්‍රේම්නාත් දොලවත්ත මෙහිදී සපථ කර සිටියහ.

 

More News..