නන්දා මාලිනිය වීරවරියද - ද්‍රෝහී කතද...?
23 August 2026
නන්දා මාලිනිය වීරවරියද - ද්‍රෝහී කතද...?
23 August 2026
අපේ සාහිත්‍ය කලා ලෝකයේ සුපතළ අමරණීය නන්දා කෙනකු සිටී. සිංහල නවකතාවේ කලාත්මක මානයකට හැරවූ විශිෂ්ටතම නවකතාව ලෙස බුහුමන් ලබන ගම්පෙරළිය නව කතාවේ ඉන්නා නන්දාය ඈ. සමාජ, දේශපාලනය පෙරළිය සමග ගැටගැසී දුක් පීඩා වින්දද ඒ නන්දා අමරණීයය.
එසේම අපේ කලා ලෝකයේ අමරණීය මාලිනියක් වෙයි. ඇය සිනමාවේ මාලනී ෆොන්සේකාය. ලාංකික ප්‍රේක්ෂකයා පතන ප්‍රේමවන්තියට පණ පෙවූ ඈ පෞද්ගලික දෝමනස්සයන් අපමණ වින්දත් අමරණීයය.
සමාජ දේශපාලන පෙරළියට හසුව දුක්විඳි නන්දාත්, සිනමා ලෝකයේ අප්‍රමාණ ප්‍රේමයට පාත්‍රව අමරණීය වූ මාලනියත් යන නම් දෙකම එකට පිහිටා අමරණීය වූ එකම තැනැත්තිය නන්දා මාලිනියය. නන්දා මාලිනියගේ ජීවිත කාලයේ වැඩිපුරම හැඳින්වූයේ යුගයේ ගායිකාව ලෙසය. යුගය විසින් නිර්මාණය කොට යුගය විසින් කරළියට නංවා ඒ ඒ යුගය විසින් වේදනාවට පත් කරවා යුගය ගැන අමතක කර විචාරය කරන්නවුන්ගේ අප්‍රමාණ දොස් පරොස්වලට ලක්ව එහෙත් යුගයක් නොව යුගාන්තය තෙක් නම පවතින ගැහැනියකි.
වෙළෙඳ වැඩසටහනක ගීත ගායනා තරගයකින් ජයගෙන වැඩිදුර සංගීතය හැදෑරීමට බොම්බායට යාමට තිබුණ ශිෂ්‍යත්වය අතහැර ඒ වෙනුවෙන් වෙන්කළ රුපියල් 1200 ඉල්ලාගෙන ගෙදරට විදුලියද, තාත්තාට රෙදි මදින්නට ස්ත්‍රික්කයක්ද, තමන්ට රත්තරං මාලයක්ද ගන්නා තැනට වැඩ සිද්ධ කළේ ඈ දිවි ගෙවූ යුගය විසිනි. ඇය බිහි වූ යුගයේ සමස්ත ලංකාවාසී ජනතාවටම සිංදුවක් අහන්නට තිබුණේ රජයේ ගුවන්විදුලි සේවය පමණක්මය. ගුවන්විදුලිය හැරෙන්නට ගායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙන්නට නම් ඉතිං රබානක් වය වයා පොළවල් ගානේ විරුදු කියනවා හැරෙන්නට වෙන පාරක් ඒ යුගයේ තිබුණේ නැත. ගුවන්විදුලියේ ගායිකාවක් වීම ඔටුවා ඉදිකටු සිදුරකින් රිංගා ගැනීම සේ අසීරු කාරණයක් බවට පත්කර තිබුණේද යුගය විසින්මය. ළමා පිටියේදී ‘‘බුදුසාදු මම සමන් මලක් වෙන්නම්’’ ගියෙන් ළමා ගායිකාවක් ලෙස පතළ වූ ඇය රන්මුතුදූව චිත්‍රපටයට ‘‘ගලන ගඟකි ජීවිතේ’’ නම් ගීය ගයා එක රැයෙන් ජනප්‍රිය වන විට වයස 16කි. ‘ගලන ගඟකි ජීවිතේ’ යැයි ගැයුවාට ඇගේ ජීවිත ගංතෙරේ ළපලු නැටුවේ නැති තරම්ය.
ඇයට යුගයකදී කීර්තියක් ගෙනා කලා නිර්මාණ ඊළඟ යුගය විසින් ඇයගේ දෙපා මුලට ඒ කලා නිර්මාණ අභියෝගයක් ලෙස ගෙනත් තැබුවේය. එක්දහස් නවසිය හැටපහේදී ‘‘මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි’’ නම් ගීය නන්දාට ගයන්නට සිදුවූයේ ‘සාරවිට’ චිත්‍රපටයටය. ඉතිහාසය උගන්වන ගුරුවරියක් ‘මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි’ වශයෙන් පංති කාමරයක දරුවන් ඉදිරියේ ගයන්නීය. චිත්‍රපටය රසවිඳි කාලයේ ඒ ගීය ගැන කවුරුවත් විවේචනය කළේ නැත.
‘මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි’ ගීය ගැයූ 1965 දී එය විවේචනය කරන්නට කිසිවෙක් නොසිටියත් එක්දහස් නවසිය අනූව දශකය වන විට එම ගීය පතුරු ගහන්නට යුගය විසින් විචාරකයන් පිරිසක් බිහිකර තිබිණි. ඇය ගීතය ගැයූ යුගයේ සංගීත කලා මාක්ස්වාදී දැක්මකින් විග්‍රහ කරන්නට අවැසි විචාරයක් බිහිව නොපැවතියත්, දශක දෙකක් යන විට මාක්ස්වාදී විචාර ක්‍රමයක් ඇවිත් අතීතයට බලපාන නීති පැනවීමක් පරිද්දෙන් ඇයගේ ඉහ මුදුණේ ඒ විචාර අවිචාර ලෙළ දුන්නේය. මේ සිංහල අපගේ රටයි සිංදුව කිය කියා තමයි විශ්වවිද්‍යාල කොල්ලෝ දෙමළ සිසුන්ව මරන්න අසූතුනේදී කඩුපොලු අරන් ගියේ යැයි නන්දා චිත්‍රපටයකට 1965 දීගැයූ ගීය ගැන විචාරයක් කරමින් මාක්ස්වාදී විචාරකයෙක් කියා තිබිණ. එහෙත් නන්දා ‘ගලන ගඟකි ජීවිතේ’ ගීය ගයන කාලයේ අදාළ විචාරකයාද පන්සලක පිරිත් කට පාඩම් කර කර සිටියෙක් බව අමතකව තිබෙන්නට ඇත.
එක්දහස් නවසිය හැත්තෑහතේ බලයට ආ ජේ.ආර්., සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විට ඊට එරෙහිව භික්ෂූන්, වියතුන්, කලාකරුවන් අත්සන් කළ පෙත්සමට නන්දා මාලිනියගේ අත්සනත් නිරායාසයෙන් හිමිවිය. ඒ සමගම ගුවන්විදුලියෙන් නන්දාගේ නමත්, හඬත් තහනම් කෙරිණ. විජය කුමාරතුංගට නැක්සලයිට් චෝදනාවක් නගා අත්අඩංගුවට ගැනීමට එරෙහිවත් නන්දා පෙනී සිටියෙන් රජයේ ගුවන්විදුලිය නන්දාගේ හඬ වාරණය කළේ ය. නන්දා ඒ යුගයේ සීමාවන්ට ප්‍රතිචාර දැක්වූයේ ‘‘සත්‍යයේ ගීතය’’ නම් ඒකපුද්ගල ප්‍රසංගයක් ජනතාව අතරට ගෙන යමිනි.
ලංකා ගීත කලාවේ ප්‍රේම ගී, විරහ ගී, දේශානුරාගී ගී, බොදු බැති ගී අතරට විරෝධාකල්ප ගී තොග ගොඩගසන්නට පටන් ගැණුනේ මේ ඒක පුද්ගල ප්‍රසංග මගිනි.
එදා ඉන්දියානු හමුදාව උතුරු නැගෙනහිර වාඩිලාගෙන ලංකා හමුදා බැරැක්කවලට කොටුකර තිබූ සමයයි. ජනමත විචාරණ පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගෙන තිබූ සමයයි. එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ සාමාජිකයෙක් නොවන කෙනකුට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ අතුගාන රස්සාවවත් ලැබුණේ නැති සමයයි. ඒ ඒකාධිපතිත්වයට එරෙහිව හූවක් කියන්න එකෙක් පාරට ආවේ නැති කාලයේ ඇය ඊට එරෙහිව ගැයුවාය.. ඒ කාලයේ ඇය කාටත් ජාතියේ යශෝරාවයය. ඒ කාලය ගෙවී දැන් වසර තිහකි. දැන් ඒ යුගය ගැන ඇගේ මරණ මංචකයේදී කියන්නේ මෙසේය.
‘‘නන්දා මාලිනී තමයි එදා සත්‍යයේ ගීතය කියලා ජවිපෙ එවුන් හැදුවේ’’
අතීතයට බලපාන නීති පැනවුණේ එහෙමය. එදා යුගයේ වීරවරිය මෙදා යුගයේ ද්‍රෝහී කතක් කළේ එහෙමය. ආණ්ඩුවක්, පක්ෂයක්, යුගයක් නියෝජනය කරන කොයි කලාකාරයටත් වන්නේ මේ ටිකය. එහෙත් ගම්පෙරළියේ ඇහුණ නන්දලාගේ හඬ, යුගාන්තය තෙක් පවතින්නේය.

