brand logo
logo
උතුම් වෙසක් පුන් පොහොය අදයි

උතුම් වෙසක් පුන් පොහොය අදයි

23 May 2024

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබේ.


බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.


ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.


මේ අතර 2568 වැනි සම්බුද්ධ තෙමඟුල නිමිත්තෙන් අරුණ පුවත්පත හා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය එක්ව සංවිධානය කරන අරුණාලෝක වෙසක් වැඩසටහන අද (23) බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.


අද (23) සවස 4.30ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී බුද්ධ වන්දනාව හා බෝධි පූජා ගාථා සහිත් පොත් 10,000ක් බෙදාදීම සිදුකිරීමට නියමිතයි.


ගිලන්පස පූජාව සවස 6.30ට පැවැත්වෙනු ඇත.


ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වන වෙසක් බොදු බැති ගී ප්‍රසංගය රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.


බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වෙන මෙම වැඩසටහන් සියල්ල අරුණ වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුවේ සහ යූටියුබ් නාලිකාවෙන් සජීවී දැකබලා ගැනීමට හැකි වේ.


 

More News..