brand logo
logo
ලංකාව ලෝකයට ආරාධනා කරයි - සහන් රන්වලගේ අලුත් වැඩක්

ලංකාව ලෝකයට ආරාධනා කරයි - සහන් රන්වලගේ අලුත් වැඩක්

05 November 2026 | අරුණි ජයසේකර


නිදහසින් පසුව යුගය දෙස බැලූ විට රැකියාවන් සඳහා විදෙස් ගත වෙන ප්‍රමාණය වැඩියි. එමෙන්ම රැකියා සඳහා රට ගිය බොහෝ දෙනා ඔවුන්ගේ පදිංචිය ඒ රටවලම තහවුරු කර ගන්නවා. මේ හේතුව නිසා ඔවුන්ගේ දරුවන් මේ වන විට මෙරටින් පිට ජීවත් වෙනවා. ඒ දරුවන් ඉඳ හිට ලංකාවට ඇවිත් යනවා. එහෙම එන්නෙත් වසර කිහිපයකට වතාවක්. මේ දරුවන් පෞද්ගලිකව ලංකාවත් සමග තිබෙන සම්බන්ධතාවක් හැරෙන්න රටක් විදියට ඔවුන් සමග කිසිම සම්බන්ධතාවක් නැහැ. ඒ නිසාම පිටරට ඉන්න අපේම හිතවතුන්ගේ දරුවන්ට ලංකාව සමග වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සහන් රන්වල බලකාය මේ වන විට සූදානම් වෙනවා. ඒ පිළිබඳ තොරතුරු කතාබහ කරන්නට ප්‍රවීණ රංගන ශිල්පී සහන් රන්වලයන් පිනිපලස වෙත කැඳවා ගත්තා. කතාබහ ආරම්භ කරමින් ‘‘ගෝලීය ශ්‍රී ලාංකීය පවුල’’ වැඩසටහන ගැන මෙසේ පැවැසුවා.


පිටරටවල ඉන්න අය හදාගත්ත යම් යම් වැඩසටහන් තිබෙනවා. ඒ තිබෙන්නේ අපි යම් රටක නගරයක ඉන්නවා නම් ඒ නගරයේ ඉඳලා ලංකාවට එනවා. එහෙම ඇවිත් ලංකාවට උදව් කරනවා. එහෙම ලංකාවට උදව් කළාම ඔවුන්ගෙන් රටට යමක් ලැබෙනවා වගේම අපෙනුත් යමක් ඔවුන්ට ලැබෙන්න ඕන. ඒ නිසා මේ වැඩසටහනෙන් පිටරට ඉන්න දරුවන්ට ලංකාව එක්ක වැඩ කරන්න පුළුවන් දෙයක් අපි නිර්මාණය කරන්නේ. ඒ නිසා ‘ගෝලීය ලාංකීය පවුල’ කියන සංකල්පය පෙරදැරි කර ගෙන එහි ආරම්භක පියවර ලෙස ‘රිදම් ඔෆ් ශ්‍රී ලංකා’ නමින් පිටරට ඉන්න දරුවන් සහ ලාංකික දරුවන් සම්බන්ධ කර ගෙන වැඩසටහනක් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.


‘රිදම් ඔෆ් ශ්‍රී ලංකා’ වැඩසටහන පැවැත්වෙන දින පිළිබඳ මෙසේ පවසනවා.


මේ වසරේ දෙසැම්බර් 18,19, 20 දින තුන පුරා නෙළුම් පොකුණ රඟහලේදී මේ කටයුත්ත සූදානම් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවෙන් පිටව සිටින දරුවන් හා එක්ව පවත්වන ප්‍රසංගය විශේෂයි. මොකද මේ ප්‍රසංගය තුළින් තමා ඔවුන් හා අප අතර ඇති බැඳීම ශක්තිමත් වෙනවා. තෙදින පුරා පැවැත්වෙන වැඩසටහන පිළිබඳ විස්තර කිරීමටත් ඔහු අමතක කළේ නැහැ.

18 වෙනිදා ඒ දරුවන් විදේශයන්වල ඉඳලා ලංකාවට එනවා. ඒ ආවම අපේ ලාංකික දරුවන් පිරිසක් ගිහින් ඒ දරුවන් පිළිගන්නවා. ඉන් අනතුරුව නෙළුම් පොකුණ රඟහල වෙත කැඳවා ගෙන ඇවිත් පෙර පුහුණුවක් ලබා දෙනවා. ඉන් පසුව කොළඹ වටා සංචාරයක් යනවා. ඒ වගේම 18 දින රාත්‍රියේදී එම දරුවන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තිබෙනවා. එම භෝජන සංග්‍රහයේදී පිටරට ඉඳලා එන ලාංකික දරුවන්ට ශ්‍රී ලාංකික යහළුවෙක් මුණගැහෙනවා. එහෙම වුණාම එයින් පසුව එම දරුවා ලංකාවට එද්දි එයාට එයාගේ වයසේ යාළුවෙක් ලංකාවේ ඉන්නවා. එහිදී දරුවට තමන් හුදකලා වෙලා කියන හැඟීම දැනෙන්නේ නැහැ.


ඊට පසු දින එනම් දෙසැම්බර් 19 රාත්‍රියේදී නර්තන ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ ප්‍රසංගය සඳහා ලෝක පුරා සිටින ලාංකීය දරුවන් වගේම ඒ දරුවන් පුහුණු කළ ගුරුවරුන් සම්බන්ධ වෙනවා. එහිදී දරුවගේ වගේම ගුරුවරුන්ගේත් නර්ථනයන් ඉදිරිපත් වෙනවා.


ඉන් පසුව 20 වන දින මිත්‍රත්වයේ දිනයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා එම දරුවන් වගේම දෙමව්පියන් සහභාගී වෙනවා. එදින උදේ පාන්දරම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ඔවුන් වෙනුවෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. තමන් වෙනුවෙන් තමන් නමින් ලංකාවේ ගසක් උස් මහත් වෙනවා කියන හැඟීම දරුවාගේ සිත තුළ ඇතිකිරීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

ගස් සිටු වීමෙන් පසුව ලංකාවෙන් බිහි වූ සුවිශේෂ පුද්ගලයන් ගේ හමුවක් සූදානම් කර තිබෙනවා. ක්‍රීඩකයන්, ආදී වාසී නායකයා ප්‍රමුඛ ආදිවාසීන් හමුවෙන්න එහිදී දරුවන්ට අවස්ථාව ලැබෙනවා. විවිධ රටවලින් එන දරුවන් මිශ්‍ර කරලා කණ්ඩායම් හදලා විනෝදජනක ක්‍රීඩා, දැනුම වැඩිකරන ක්‍රීඩා, ඒ රටවල විලාසිතා නිරූපණය වගේ වැඩසටහන් එදින දවස පුරා අරලියගහ මැදුරේදී පැවැත්වෙනවා.

ලෝකය පුරා විවිධ රටවල ජීවත් වෙන දරුවන් මේ වැඩසටහනට සහභාගී වෙන බව ඔහු පවසනවා.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය, එංගලන්තය ආදී රටවල ජීවත් වෙන ළමයි මේ වන විට පුහුණු වීම් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම බංග්ලාදේශය, ස්වීඩනය වගේ රටවල් පුහුණුවීම් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා. මේ රටවලට අමතරව පවතින විලාසිතා දැක්ම වෙනුවෙන් ඇමරිකාව, ඔස්ට්‍රියාව, නවසීලන්තය වගේ රටවලින් සහභාගී වෙනවා.


මෙවැනි වැඩසටහක් සංවිධානය කිරීමේ අරමුණ පිළිබඳ සහන්ට තිබුණේ මෙවන් අදහසකි.


මෙවන් වැඩසටහනක් නිර්මාණය කිරීම තුළින් ලංකාවට හොඳ පිළිගැනීමක් ලැබුණ කියන තැනට දරුවන්ගේ මානසිකත්වය හැදෙනවා. ඒ වගේම ලංකාවේ දරුවන්ට විදෙස්වල ජීවත්වන ශ්‍රී ලාංකික දරුවන් කෙරෙහි ආදරය කරුණාව ඇතිවීමටත් හේතුවක් වෙනවා. තවද පොඩි කාලේදි ලංකාවේ ජීවත් වෙලා ලොකුවෙලා ඒ රටවල්වලට ගිය අයට වුණත් මෙවැනි දේ අමරණීය මතකයක් වෙනවා.

එම නිසා ලෝකය පුරාම විසිරී සිටින ශ්‍රී ලාංකික සංවිධාන හා ව්‍යාපාරවලට ආරාධනා කරනවා මේ වැඩසටහන සමග එකතු වෙන්න කියලා. ඒ වගේම විදෙස් රටවල නැටුම් කණ්ඩායම් හා සංස්කෘතික අංග ඉදිරිපත් කරන කණ්ඩායමවලින් ද මේ වැඩසටහනට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

 

More News..