Best News Website award
brand logo
logo
ශ්‍රි පාද මාවත අයිති මහජනතාවට - ශ්‍රී පාදස්ථානාධිපති හිමි

ශ්‍රි පාද මාවත අයිති මහජනතාවට - ශ්‍රී පාදස්ථානාධිපති හිමි

19 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


ශ්‍රී පාද අවාරයේදි ශ්‍රී පාදස්ථානය සංචාරය සඳහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් ශ්‍රි පාද මාවතේ පරිසරයට සහ පොදු දේපලවලට දැඩි ලෙස හානි කරන බවත්, එම සංචාරකයන්ගෙන් වනජීවි දෙපාර්තමේන්තුව මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිසා ඒ පිලිබඳව කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.


උන් වහන්සේ ඒ බව ඊයේ (18) කියා සිටියේ, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026-2027 වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා ඊයේ දින පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවක කාර්යාලයේ පැවති වි‍ශේෂ රැස්වීමේදිය.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ,


නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානය අසළ සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරණ දක්වා මාවත වනජීවි 

දෙපාර්තමේන්තුවට අයත් නොවන බවත්, එම මාවත අයිති මහජනතාවට බවයි.


ශ්‍රි පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවත අඩි 20 බැගින් දෙපසට තිබෙන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයදී පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, එය මෙතෙක් ඉටු කිරිමට කිසිදු රජයක් සමත් වී නොමැති බවත්, මෙවර ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වීමට ප්‍රථම ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවත් ශ්‍රී පාදස්ථාන මාවත් ලෙස නම් කරන ලෙස එම රැස්වීමට සහභාගි වූ නුවරඑළිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් සභාපති මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබූහ.


තවද, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදු වූ බවත්, එම නායයෑම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කර ආරක්ෂක අංශ යොදවා එම මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගත් බවත්, පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් යලිත් ඉදිකටු පහණ ප්‍රදේශය එවැනිම නායයෑමක් සිදු වී ඇති බවත්, එම මාර්ගයද යථා තත්වයට පත් කිරිම ජනාධිපතිතුමන් මැදිහත් වූ බවද ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් පැවසීය.


ශ්‍රී පාද වන්දනාවාරයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන්ට සහ උඩමළුවට නොමිලේ පානීය ජලය ලබා දීමට ජනාධිපතිවරයා මැදිහත් වි ඇති බව සතුටට කරුණක් බවත්, ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් මෙහිදි පැවසීය.


නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම බඹර කූඩු විශාල වශයෙන් පවතින නිසා මෙවර වන්දනාවාරයට ප්‍රථම එම බඹර කූඩු ඉවත් කිරිමටත්, දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමෙන් විශාල ගල් සහ පස් පහළට විත් සීතගගුලේ තැම්පත් වී ඇති නිසා එම සීතගගුල වන්දනාකරුවන්ට ස්නානය කිරිමට සුදුසු ආකාරයෙන් සකස් කිරිමටත් මෙම රැස්වීමේදි තීරණය කරනු ලැබූවා.


2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (12/23) ආරම්භ කරන බවත්,ඒ අනුව ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ අවාරයෙ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්, දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (21) දිනපස්වරුවේ එලියට වඩම්මවා එසේ වැඩම්ම වූ ඇති සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන්,දේව ආභරණ සහ පූජා භාණ්ඩ දෙසැම්බර් මස (22) දින පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට බලංගොඩ, රත්නපුර පලාබද්දර රජ මාවත, කුරුවිට එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් යන මාර්ගය ඔස්සේ පෙරහැරවල් 04කින් ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා උදුවප් පොහෝදින (23) අලුයම ශ්‍රී පාද උඩ මළුවේ දී පුරාණ චාරිත්‍ර කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව 2026-2027 ගෞතම ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරන බවයි.





 

More News..