brand logo
logo
විගණකාධිපති වෙන්නේ කවුද?

විගණකාධිපති වෙන්නේ කවුද?

27 May 2025

2024 සැප්තැම්බරයේදී ජනාධිපති පදවියට අනුර කුමාර දිසානායක පත්වූදා පටන් ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරියද, කැබිනට් මණ්ඩලයද, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද මේ රටේ ජනමාධ්‍යයට විශාල සේවයක් කරමින් සිටිති. ඒ ඔවුන්ට අලෙවි කළ හැකි මාතෘකා ලබා දෙමිනි. අලුතින්ම ඒ සඳහා දායක වී ඇත්තේ අන් කවරකුවත් නොව ජනාධිපතිවරයාමය. ඒ පුරප්පාඩු වී ඇති විගණකාධිපති පදවියට නුසුදුස්සෙකු පත් කරන්නට යෑමෙනි.


දැනට ඇබෑර්තු වී ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ හතලිස් දෙවැනි (42) විගණකාධිපති පදවියයි. බැලූ බැල්මට නම් ඒ හිස් තැන පිරවීමේ කිසිදු ගැටලුවක් නැත. ආයතනයේ ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල විගණකාධිපති ධුරයට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බැවිනි. අවුරුදු තිහක (30) නිකැළැල් සේවයක් ඇති ඔහු වරලත් ගණකාධිකාරිවරයෙකුද වන අතර කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකුද වේ. අප්‍රේල් අටවැනිදා (08) හිටපු විගණකාධිපති ඩබ්ලියු.පී.සී. වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පසු අදාළ තනතුරේ වැඩ බලන්නේද ඔහුය. එහෙත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව⁣ට අනුමැතිය සඳහා යැව්වේ ඔහුගේ නම නොවේ.


ජනාධිපතිවරයා යවා ඇත්තේ දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන පුෂ්පිත චන්දන හේවා කොන්ඩිලගේ නමයි. ඔහු රාජ්‍ය සේවයේ විගණනය සම්බන්ධයෙන් අත්දැකීමක් හා පළපුරුද්දක් නැති පෞද්ගලික අංශයේ සේවය කළ තැනැත්තෙකි. එහෙත් ඔහු කැලණි විශ්වවිද්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට කනිෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමේ කෙනෙකි.


ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකතුව හා ජාතික විගණන කාර්යාලයේ ඉහළ කළමනාකරණය නියෝජනය කරන අංශ ප්‍රධානීන්ගේ සංසදය යන සංවිධාන දෙකම දෙපාර්තමේන්තුවට පිටස්තර පුද්ගලයකු පත්කිරීමට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට සංදේශයක් යවා තිබේ. එහිදී ඔවුහු රාජ්‍ය විගණනය පෞද්ගලික අංශ විගණනයට වඩා හාත්පසින් වෙනස් ක්‍රියාවලියක් බව පෙන්වා දෙමින් බාහිරින් බඳවා ගන්නා තැනැත්තකුට වඩා පළපුරුදු අභ්‍යන්තර නිලධාරියකු විගණකාධිපති ධුරයේ වගකීම් දැරීමේදී සාර්ථක වනු ඇතැයි පෙන්වා දෙති. තවද බාහිරින් පුද්ගලයකු පත්කිරීම මගින් එකී ස්වාධීන තනතුර දේශපාලනීකරණය වීමෙන් දූෂණය, වංචාව හා අවභාවිතය හෙළිදරව් වීමේ අවස්ථාවන් ඇහිරී යනු ඇතැයිද වැඩිදුරටත් එහිලා සඳහන් කර තිබේ.


මීට කලින් විගණකාධිපති ධුරය හිස් වූ අවස්ථා දෙකකදී දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතමයා ඊට නුසුදුස්සකු වී තිබෙන බවද වාර්තා වී ඇත. එකී අවස්ථාවන් දෙකම වාර්තා වන්නේ මෑත කාලයේදී වන අතර එකක් 2007 වර්ෂයේදී හා අනෙක 2015 වර්ෂයේදීය. 2007 වර්ෂයේදී විගණකාධිපති පදවිය පුරප්පාඩු වූ විට දෙපාර්තමේන්තුවේ සිටි ඊළඟ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනාටම අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම තිබී නැත. එබැවින් එහිදී මහා භාණ්ඩාගාරයේ සේවය කරමින් සිටි සුදුසුකම් සපුරා ලූ නිලධාරියෙකු ඇබෑර්තුවට පත් කර තිබේ.


2015 දී විගණකාධිපති පදවිය පුරප්පාඩු වූ අවස්ථාවේ සිටි ඊළඟට සිටි ජ්‍යෙෂ්ඨයා වයස අවුරුදු පනහට අඩුවීම නිසා අදාළ තනතුරට නුසුදුස්සකු හැටියට සලකා තිබේ. ඒ විගණකාධිපති පදවිය අවුරුදු දහයකට වැඩි කාලයක් එක පුද්ගලයෙකුට දැරීමට නොදෙන සම්ප්‍රදායක් ඇති බැවිනි. ඒ අවස්ථාවේද ඇබෑර්තුවට පත්කරන ලද්දේ රජයේ සේවයේ එනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි නිලධාරියෙකි. ඒ හැරුණු විට විගණක දෙපාර්තමේන්තු ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියා විගණකාධිපති ධුරයට පත් නොකෙරැණු වෙනත් අවස්ථාවක් නැත. වර්තමානයේ වැඩ බලන විගණකාධිපතිවරයා එම තනතුරට ස්ථිරව පත්කිරීමට පෙරකී අන්දමේ බාධාවක් නැත.


එසේ වුවද සිස්ටම් චේන්ජ් කිරීමට බලය ලබා ගත් මේ ආණ්ඩුව විගණකාධිපති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව⁣ට නම් කර යැව්වේ රජයේ සේවයේ යෙදී නැති, අඩු පළපුරුද්දක් ඇති පුද්ගලයෙකුගේ නමකි. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය මොනවට ඔප්පු කරමින් එය ජනාධිපතිවරයාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් මීට පෙරාතුව සිටි ජනාධිපතිවරුන් කළ පරිද්දෙන්ම මේ ජනාධිපතිවරයාද සිය නාමයෝජනාව තවත් වරක් එතැනට ඉදිරිපත් කළේය. ව්‍යවස්ථා සභාව එවරද එය ප්‍රතික්ෂේප කළේය. ජනාධිපතිවරයා වැඩ බලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය හයමාසයකට දීර්ඝ කරමින් තාවකාලිකව පරාජය භාර ගත්තේය. එහෙත් ස්ථිර පත්වීමක් ලැබීමට සියලු සුදුසුකම් ඇති තැනැත්තාට හය මාසයක තාවකාලික පත්වීමක් පමණක් දීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා සටන අතහැර නැති බවය.


එතෙක් මෙතෙක් පැවති සියලු ආණ්ඩු දූෂිත බව පෙන්වා දෙමින් විනිවිද භාවයකින් කටයුතු කරන ආණ්ඩුවක් ඇති කරන බවට දසඅතේ පොරොන්දු දී බලයට පැමි⁣ණි ජාතික ජන බලවේග ආණ්ඩුව මේ කටයුතු කරන ආකාරය ඔවුන් පොරොන්දු වූ පිළිවෙතට මුළුමනින්ම පටහැණිය. මෙහිදී ඔවුන් කටයුතු කරන්නේ පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත්කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කළ ආකාරයට වෙනස් ලෙසකින් නොවේ.විගණකාධිපති පදවියට ආණ්ඩුවේ හිතවතකු අවශ්‍ය වන්නේ ආණ්ඩුව විනිවිද භාවයකින් කටයුතු නොකිරීමට සැලසුම් කරන්නේ නම් පමණය. දූෂණය නැතිකරන බවට ශපථ කර බලයට පැමි⁣ණි ආණ්ඩුව තමුන්ගේ හිතවතුන් වන නුසුදුස්සන්ට රජයේ ඉහළ තනතුරු ලබාදීමට කටයුතු කිරීම පැහැදිලිවම දූෂණයකි. විගණකාධිපති පදවියට සුදුසුකම් නැති හිතවතකු පත්කිරීමට කැසකැවීම ගැන අදූෂිත යැයි කියන ආණ්ඩුව කියන්නේ කුමක් දැයි දැන ගැනීමට රටුන් කැමැත්තෙන් සිටිනවාට සැක නැත.

 

More News..