ඊටන් පාසලට ඇතුළත් වීමට සූදානම් වන ජෝර්ජ් කුමරු සිය 13 වැනි උපන්දිනය සමරයි
24 July 2026
ඊටන් පාසලට ඇතුළත් වීමට සූදානම් වන ජෝර්ජ් කුමරු සිය 13 වැනි උපන්දිනය සමරයි
24 July 2026
බ්‍රිතාන්‍ය රාජකීය කිරුළේ දෙවැනි උරුමකරු වන ජෝර්ජ් කුමරු, සිය පියාවන විලියම් කුමරුගේ අඩිපාරේ යමින් කීර්තිමත් ඊටන් විද්‍යාලයට ඇතුළත් වීමට සූදානම් වන අතරතුර ඔහු පසුගිය බදාදා සිය 13 වැනි උපන් දිනය සමරනු ලැබුවේය..
ජෝර්ජ් කුමරුගේ උපන් දිනය වෙනුවෙන් කෙන්සිංටන් මාලිගය විසින් ඔහුගේ නවතම ඡායාරූපයක් මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, III වැනි චාල්ස් රජතුමා සහ කැමිලා අගරැජින ද කුමරු වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
බ්‍රිතාන්‍ය රාජකීය කිරුළේ හිමිකරු වන විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන ජෝර්ජ් කුමරු, අනාගතයේදී සිය පියාගෙන් පසු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පැලඳීමට නියමිතය.
කෙසේ වෙතත්, ඊට ප්‍රථමයෙන් ඔහු තවත් අභියෝගාත්මක අදියරකට මුහුණ දීමට නියමිත අතර, ඒ එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඊටන් නේවාසික පාසලට ඇතුළත් වීම සහ ඔහුගේ නව යොවුන් විය ආරම්භ වීමත් සමගිනි.
රාජකීය විචාරක රිචඩ් ෆිට්ස්විලියම්ස් සඳහන් කරන්නේ, තරුණ කුමරු ක්‍රමයෙන් රාජකීය කටයුතු සඳහා යොමු කරමින් සිටින බව සහ වයසින් මුහුකුරා යත්ම ඔහු ප්‍රසිද්ධ සභා සහ රාජකීය උත්සව සඳහා සහභාගී වීම වැඩි කරනු ඇති බවත්ය.
2013 ජූලි 22 වන දින ලන්ඩනයේ සාන්ත මේරි රෝහලේදී ජෝර්ජ් කුමරු උපත ලැබුවේ ලොව පුරා ජනමාධ්‍යවල අවධානයක් දිනා ගනිමින් සහ බ්‍රිතාන්‍ය පුරා මහජන උත්සව පැවැත්වෙන අතරතුරදීය.
ඔහුගේ සම්පූර්ණ නාමය ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් (George Alexander Louis) වේ.
උපත ලබා මාස අටක් තරම් කුඩා අවධියේදී, එනම් 2014 අප්‍රේල් මාසයේදී, ඔහුගේ දෙමාපියන් නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිරත වූ රාජකීය සංචාරයට ද ඔහු එක්කර ගන්නා ලදී.
විලියම්, කේට් සහ ජෝර්ජ් කුමරු මුලින්ම පදිංචිව සිටියේ වේල්සයේ වයඹදිග වෙරළට ඔබ්බෙන් පිහිටි ඇන්ගල්සි ග්‍රාමීය ප්‍රදේශයේ කුලියට ගත් නිවසකය.
කුඩා කල සිටම කැමරා කාචවලින් බැහැරව හැදී වැඩුණු කුමරු, ළමා වියේදී ප්‍රසිද්ධියේ පෙනී සිටි දුර්ලභ අවස්ථාවන් පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍ය ඉතා උනන්දුවෙන් වාර්තා කළ අතර, ඔවුන් ඔහුව හඳුන්වනු ලැබුවේ Gorgeous George යන ආදරණීය නාමයෙනි.
එතැන් පටන් ඔහුගේ උපන් දින සැමරුම් ද පෞද්ගලික මට්ටමින් පවත්වාගෙන යාමට දෙමාපියන් වගබලා ගත් අතර, පවුලේ නිල ඡායාරූප කිහිපයක් පමණක් විටින් විට මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.
"විලියම් සහ කේට්තම පුතුට හැකි තරම් සාමාන්‍ය, සරල පරිසරයක හැදී වැඩීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට විශාල උත්සාහයක් ගෙන තිබෙනවා," යනුවෙන් රාජකීය විචාරක ෆිට්ස්විලියම්ස් AFP පුවත් සේවයට අදහස් දක්වමින් පැවසීය.
2017 වසරේදී රාජකීය පවුල ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේ පිහිටි නිවසකට පදිංචිය වෙනස් කළ අතර, ජෝර්ජ් කුමරු දකුණු ලන්ඩනයේ පිහිටි පෞද්ගලික පාසලකින් සිය මූලික අධ්‍යාපනය ආරම්භ කළේය.
පසුව ලන්ඩනයට නිරිත දෙසින් පිහිටි වින්ඩ්සර් රාජකීය භූමියෙහි පිහිටි ඔවුන්ගේ ස්ථිර නිවස වෙත පදිංචියට ගිය අතර, 2022 වසරේ සිට ජෝර්ජ් කුමරු සිය සහෝදරිය වන චාලට් සහ බාල සොහොයුරු ලුයිස් සමග ලැම්බෲක් පෞද්ගලික පාසලේ අධ්‍යාපනය ලබයි.
ඔහු මේ වන විටත් ජනමාධ්‍ය ඔස්සේ ඉහළ අවධානයක් දිනාගත් ප්‍රධාන රාජකීය උත්සව සඳහා සහභාගී වී තිබේ.
ඒ අතර Trooping the Colour රාජකීය පෙළපාළිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේදී රජ පවුලේ පිරිස සමග ප්‍රසිද්ධියේ පෙනී සිටීම සහ 2023 වසරේදී III වන චාල්ස් රජතුමාගේ අභිෂේක මංගල්‍යයේදී රාජකීය සළුව රැගෙන යාමට සහායවීම විශේෂ වේ.
රාජකීය උත්සව අතරතුර විවිධ හාස්‍යජනක ඉරියව් පාන සිය බාල සොහොයුරු ලුයිස් කුමරු මෙන් නොව, ජෝර්ජ් කුමරු මහජනතාව හමුවේ වඩාත් තැන්පත් සහ ගම්භීර චරිතයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි.
"ඔහු කුඩා කාලයේදී තරමක් ලජ්ජාශීලී චරිතයක් වුණා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔහු චාලට් සහ ලුයිස්ට උපකාරීවන අයුරු දැකගත හැකි වුණා," යනුවෙන් පවසන රාජකීය විචාරක ෆිට්ස්විලියම්ස් වැඩිදුරටත් සඳහන් කළේ, විශේෂ රාජකීය උත්සව දෙස බැලූ විට, ඔහු තමාට හිමි රාජකීය වගකීම ඉතා පහසුවෙන් භාර ගනිමින් සිටින බව පැහැදිලි වන බවයි.
රාජකීය උරුමයට අමතරව, සිය පියා වන විලියම් කුමරුගෙන් ජෝර්ජ් කුමරුට පාපන්දු ක්‍රීඩාවට සහ ඇස්ටන් විලා පාපන්දු කණ්ඩායමට ඇති ආදරය ද හිමිව තිබේ. ජෝර්ජ් කුමරු නිතරම සිය පියා සමග ඇස්ටන් විලා තරග නැරඹීමටත්, මව සමග විම්බෙල්ඩන් ටෙනිස් තරගාවලිය නැරඹීමටත් එක්වෙයි.
මීට අමතරව හෙලිකොප්ටර් යානා කෙරෙහි ද ඔහු තුළ විශේෂ උනන්දුවක් පවතින අතර, ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස කටයුතු කළ සිය පියාගේ අඩිපාරේ යාමට ද ඔහුට හැකියාව පවතී.
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ජෝර්ජ් කුමරු 'ඊටන්' නේවාසික පාසලේ අධ්‍යාපනය ආරම්භ කිරීමට නියමිත අතර, ඔහුගේ පවුලේ අය ද වින්ඩ්සර් හි ඉතා ආසන්නයෙන් පදිංචිව සිටිති.
රාජ්‍ය පාලනය සහ ඉතිහාසය පිළිබඳව ඔහු සැබෑ ලෙසම හැදෑරීම ආරම්භ කරන සංධිස්ථානය ලෙස එය සනිටුහන් වනු ඇත.
සිය පියා වන විලියම් කුමරු සහ හැරී කුමරු මෙන්ම ජෝර්ජ් කුමරුට ද වසරකට පවුම් 63,000 කට වඩා ගාස්තුවක් අය කෙරෙන මෙම ප්‍රකට ද්විතීයික පාසල තුළ විශේෂ ආරක්ෂාවක් හිමිවනු ඇත.
"දැන් ඔහු නව යොවුන් වියට පා තබා අවසන්. ඊටන් විද්‍යාලය ඔහුව ආදරයෙන් පිළිගැනීමට සූදානම්. ඊටන් පාසල කියන්නේ ඔහුගේ පරිණතභාවය දෙසට තබන විශාල පියවරක්," යනුවෙන් ෆිට්ස්විලියම්ස් අවසන් වශයෙන් සඳහන් කළේය.

