අගවිනිසුරුගේ සහ පොලිස්පතිගේ නිල නිවාස වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට
07 August 2026
අගවිනිසුරුගේ සහ පොලිස්පතිගේ නිල නිවාස වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට
07 August 2026
කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට මාර්ග නිරීක්ෂණය කරමින් වීඩියෝ ගත කළ පුද්ගලයෙකු ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසිය සමත් වී තිබේ.
ඔහු ඒ සඳහා භාවිතා කළ ජංගම දුරකථනයද මේ වන විට පොලිස් බාරයට ගෙන ඇත.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයා, රථය නවත්වා පොලිස්පති නිල නිවස අසල මාර්ගය වීඩියෝ කරමින් සිටින අයුරු ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකා (STF) නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව ඇත. වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා අසල සිටි රථවාහන පොලිස් කොස්තාපල්වරයෙකු දැනුවත් කර ඇති අතර, ඔහු විසින් කොළඹ හදිසි ඇමතුම් අංශයට ඒ බව වාර්තා කර තිබේ.
ඒ අනුව, රාත්‍රී ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිටි කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස මෙන්ම ඒ අවට මාර්ග දර්ශනද එහි සටහන්ව තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙය තමන්ගේ විනෝදාංශයක් ලෙස සිදු කළ බවයි. කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු තම පදිංචිය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අළුබෝමුල්ල, අරුග්ගොඩ, නිවුඩාව පාරේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය ඉදිරි විමර්ශන පවත්වයි.

