හග්ගලදී පුද්ගලයෙකු යටකර මාරක අනතුරක් කළ බස් රථයට ධාවන තහනමක්
01 September 2026
හග්ගලදී පුද්ගලයෙකු යටකර මාරක අනතුරක් කළ බස් රථයට ධාවන තහනමක්
01 September 2026
නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු යටකර මාරාන්තික අනතුරක් සිදුකළ බස් රථය දීර්ඝ කාලයක සිට නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නඩත්තු අඩුපාඩු රැසක් පැවතීම හේතුවෙන් එම බස් රථය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පසුගිය 23 වනදා පාසල් ළමුන් පිරිසක් රැගෙන හග්ගල උද්භිත උද්‍යානය නැරඹීමේ චාරිකාවකට පැමිණි මෙම බස් රථය, හග්ගල - වැලිමඩ මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක ධාවනය වෙමින් තිබියදී රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි සංචාරකයකු මාර්ගය හරහා මාරුවීමටයාමේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථය සහ එහි රියදුරු නුවරඑළිය පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රථය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමුකර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථය "සිසු සැරිය" නාමය අවභාවිත කරමින් ධාවනය කර ඇති බවයි.
ඊට අමතරව සිදුකළ තාක්ෂණික පරීක්ෂාවේදී පහත සඳහන් බරපතළ දෝෂ රැසක් නිරීක්ෂණය වී තිබේ.
බස් රථයේ රෝද හතරෙන් තුනකට පමණක් තිරිංග ක්‍රියාත්මක වීම සහ තිරිංග බූස්ටරය අක්‍රිය කර තිබීම.
අත් තිරිංගපද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්ත්වයේ පැවතීම.
ටයර් දිරාපත් වී තිබීම සහ සියලුම රෝදවල නට් එක බැගින් ගලවා ඉවත් කර තිබීම.
පා පුවරුවේ තහඩු ගෙවී පිහිතල මෙන් ආපාදකර ලෙස පැවතීම.
කැබිනට් වීදුරු යොදා අලුත්වැඩියා කර තිබීම නිසා අනතුරකදී එම වීදුරු උල් සහිත ලෙස තියුණුව බිඳී යාමේ අවදානම පැවතීම.
මේ පිළිබඳව අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ සියලු අඩුපාඩුකම් සම්පූර්ණයෙන් සකස් කර නැවත තමා වෙත ඉදිරිපත් කරන තෙක් බස් රථය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඒ පිළිබඳව බස් රථයේ හිමිකරුට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත්ය.

