Best News Website award
brand logo
logo
මඩකලපුව මහාධිකරණයෙන් EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම

මඩකලපුව මහාධිකරණයෙන් EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම

19 November 2026

2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මගින් අද (19) මරණ දඬුවම නියම කරන ලදී.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ සැකකරුවන් නව දෙනා අතුරින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා නියෝග කළේය.


2008 ජුනි 19 වැනිදා, එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර, මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.


සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය මගින් ඊ.පී.ඩී.පී. සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.


මූලික මහෙස්ත්‍රාත් නඩු විභාගයෙන් අනතුරුව, 2016 වර්ෂයේදී නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කෙරිණි.


පැහැරගැනීම සඳහා භාවිත කළ බව කියන වෑන් රථය ද සොයා ගනිමින් මහාධිකරණය හමුවේ නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලදී.


දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනාට අද මෙලෙස මරණ දඬුවම ප්‍රකාශයට පත් කෙරිණි.


තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

 

More News..