ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කරයි
21 February 2026
ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කරයි
21 February 2026
2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
ඔවුන් බඳවා ගැනීමේ සිට මේ දක්වාම සිදු කරන ලද අසාධාරණකම්, නොසලකා හැරීම් හා ග්‍රාම නිලධාරී සේවයට හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාවෙන් සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව එළැඹෙන මාර්තු 03වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී මෙම පිරිස නිහඬ විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සහාය දැක්වීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යතුමා හා එම අමාත්‍යංශ ලේකම්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් සිදු කළ ද නිශ්චිත හා සාධනීය පිළිතුරක් ලබා නොදුන් බවට ද ඔවුහු චෝදනා කරති.
2026 මාර්තු 02 වන දින වන විට ග්‍රාම නිලධාරී සේවයේ වසර 17ක් සම්පූර්ණ කර ඇති, දැනට සක්‍රීය සේවයේ සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් එනම් 2300කට අධික නිලධාරීන් සංඛ්‍යාවක් මෙමගින් අසාධාරණයට ලක්ව ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මෙම නිශ්චිත, සාධාරණ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළැඹීමට ද 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම තීරණය කර තිබේ.

