සී.ඩී.ට වෙඩි වැදුණු පිස්තෝලය පතරොම් කොපු උසාවියට ඉදිරිපත් කරන්න නියෝග
21 July 2026 | උපාලි ආනන්ද - අනුරාධපුර
සී.ඩී.ට වෙඩි වැදුණු පිස්තෝලය පතරොම් කොපු උසාවියට ඉදිරිපත් කරන්න නියෝග
21 July 2026 | උපාලි ආනන්ද - අනුරාධපුර
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කොට ඇති පතරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලුම නඩු භාණ්ඩ එළැඹෙන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න වෙඩි වැදී මියයෑමේ සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මගින් මීට පෙර අධිකරණය හමුවේ ගොනු කොට තිබූ බී 16426/2026 අංක දරන නඩුකරය බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මෝසමක් මගින් යළි කැඳවූ අවස්ථාවේදීය. මෝසමක් මගින් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේ බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ හිටපු පොලිස්පතිවරයකු වන චන්දන දීපාල් වික්‍රමරත්න වෙඩි වැදී මිය යෑමේ සිද්ධියට අදාළව මෙතෙක් මාලබේ පොලිසිය මගින් සිදුකළ විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පත් කර ගෙන සියලු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තම ඒකකයට නියෝග ලබාදී ඇති බවයි.
ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියෑමේ සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මගින් මේ දක්වා සිදු කළ සියලු විමර්ශන කටයුතු තම ඒකකය යටතට පත්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස ද කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමෙන් මිය ගියේ ඉකුත් 17 වැනිදා පෙරවරුවේදීය. හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණයේදී හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකොට විවෘත තීන්දුවක් ලබාදුන්නේය. ඒ අනුව, හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පවත්වා ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මරණයට හේතු සහිතව ඉදිරි දිනයකදී නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත. හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියෑමේ සිද්ධියට අදාළව ඉදිරි සියලු විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරනු ලබන්නේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගේ සහ බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේය.

