brand logo
logo
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට දෙමළ පක්ෂ 6ක් රජයෙන් ඉල්ලයි

පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට දෙමළ පක්ෂ 6ක් රජයෙන් ඉල්ලයි

13 July 2026


ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයෙන් ඉල්ලීමක් සිදු කරන බවට දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. 


කොළඹ අද (13) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම පක්ෂවල නියෝජිතයෝ මේ බව අවධාරණය කළහ. 


සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) යන පක්ෂවල නියෝජිතයින් මෙම හමුවට සභාගීවූහ. 


බලයට පත්වීමෙන් වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රතිඥාදී තිබුණ ද මේ දක්වා සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී පැවසීය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටළු විසඳීම සහ සුළුතරයන් සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් පක්ෂ එකඟතාවකට ද පැමිණ තිබේ. 


සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු වේදිකාවක් හරහා සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාමට තම පක්ෂවල කැපවීම යළිත් තහවුරු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසීය.

 

More News..