කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්‍රතිකාර
25 September 2026
කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්‍රතිකාර
25 September 2026
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසුවේ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අද (25) දිනයේදීත් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරමින් පවතින බවය.
ඊයේ (24) දිනයේදීද පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ වන ජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇතාට ප්‍රතිකාර කෙරිණි.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ වර්ෂාව ඇතුළු දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද කාවන්තිස්ස ඇතාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් වනජීවි නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බවය.
මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරියගෙන් සිදුකර ඇති විමසීමකදි ඇය සඳහන් කර ඇත්තේ ඇතාට ලබා දෙන ඖෂධ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් අවශ්‍ය හදිසි ප්‍රතිකාර හෝ වෙනත් වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ නිලධාරීන් සූදානමින් සිටින බවත්ය.
එමෙන්ම පරිසර අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඇතාගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු සූදානම් කරමින් සිටින බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

