සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යයට දීම තහනම්
09 November 2025 | එෆ්. අස්ලම්
සැකකරුවන්ගේ පින්තූර මාධ්‍යයට දීම තහනම්
09 November 2025 | එෆ්. අස්ලම්
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප හා විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍යය වෙත ලබාදීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරු දක්වා වන උසස් නිලධාරින් වෙත පසුගියදා (06 වැනිදා) මීට අදාළ නියෝගය සිදුකර ඇත.
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මගින් සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දේපළ සහ ඒ සම්බන්ධ තොරතුරු මෙන්ම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ අවිධිමත් ආකාරයෙන් ප්‍රචාරණයන් සිදුවීම බහුලව නිරීක්ෂණය වී තිබෙන බවද පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබේ. විශේෂයෙන් පොලිස් නිලධාරින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරය ජංගම දුරකථන මගින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරවීම මෑතකදීද නිරීක්ෂණයට ලක්වූ බව එමගින් පෙන්වා දී ඇත. එසේම සත්‍යයෙන් තොර සහ තහවුරු කර නොමැති තොරතුරු, සංස්කරණය කරන ලද හා නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශනද මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වී ඇති බවද එය අධිකරණ ක්‍රියාමාර්ගවලට අගතිදායක බවද එමගින් පෙන්වා දෙයි. මේ අනුව යම් මෙහෙයුමක් පිළිබඳ ප්‍රසිද්ධියක් අවශ්‍ය නම් කොට්ඨාස ඡායාරූප නිලධාරී මගින් වීඩියෝ හා ඡායාරූප ගතකර විස්තරයක්ද සහිතව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.
එසේම පොලිසිය හා විශේෂ කාර්ය බළකාය සිදුකරන ලද වැටලීම්වලට මාධ්‍ය රැගෙන යාම විමර්ශනවලට බාධාවක් බවත් එය නීති කෘත්‍යයට ද බාධාවක් බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ. මාධ්‍යයට තොරතුරු ලබා දිය හැකි එකම බලධාරියා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වන අතර තමාගේ අවසරයකින් තොරව මාධ්‍යයකට තොරතුරු ලබාදෙන නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව පියවර ගන්නා බවද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

